Monday, March 30, 2020

විචාර අංක 04

__________________


මෙම ගීතය අදටත් රසික හදවත් තුළ ජීවත්වෙන ගීතයකි.එහි සංගීතයද එතරම්ම හදවත තුළ රිද්මය හොරාගත්තු අපූරත්වයකි. මෙම ගීතය රචනා කරන යමුනා මාලනී මහත්මීයට මෙහි වස්තු බීජය ලැබෙන්නේ ඇයගේ හිතවත් යෙහෙළියක් තුළින්ය.එම යුවතිය ආදර සම්බන්ධතා පිළිබඳව එතරම් උනන්දුවක් දැක්වූ යුවතියක් නොවේ. නමුත් කාලයක් සමඟ එක තරැණයෙක්  ඇ⁣ය පසුපස එන්නට පටන් ගන්නවා ප්‍රේම සම්බන්ධයක් ගොඩනඟාගන්න.නමුත් ඇය කැමැත්තක් පල නොකලද කාලයක් ඈවෑමෙන් ඔවුන් පෙම්වතුන් බවට පත්වෙලා අවුරැදු තුනක කාලයක් පෙම්වතුන් ලෙස කාලය ගෙවනවා.නමුත් එක දවසක් මෙම පෙම්වතා මෙම ප්‍රේම සම්බන්ධය නිමකර ඇයගෙන් ඈතට යනවා........

     ඉන්පසු එය දරාගන්න බැරි මොහොතක යමුනා මාලනීව මහත්මියව මුහුණ ගැහෙන ඇය ...ඇය විසින් ප්‍රේමයෙන් ලද මිහිරි බවත් එහි මතක අමතක කරන්න බැරි තරම් එහි විරහාව තුළත් ඇය තවමත් ප්‍රේමය දකින හා විඳින අයුරැ......

යමුනා මාලනී මහත්මිය ඇයගේ සොඳුරැ පන්හිඳ හා තෙළිතුඩත් අතර  පරතරයෙන් ප්‍රේමණීය විරහාවේ මතකයන්  දුටුවේ.....


සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ

මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි 

වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ

මලේ පාට නොසේදීම පුදුමයක් තමයි


 පරිසරය තුළින් ප්‍රේමය හා හුදකලාව විරහාව මතකය ගී පද අතර තුලනය කර ඇති අයුරැ සැබවින්ම අපූරත්වයකි. සුළඟ එද්දී ඇයට දැනෙන්නේ සුළඟ සේ ඇවිත් ඇයගේ හදවත ස්පර්ශ කර මොහොතක් දැවටිලා ගිය අයුරැයි......ඒ වගේම හිත් මලේ පිපුණු ප්‍රේමයේ සුවඳ නැවත නැවත හමාගෙන එන සුළඟක් සේ රැගෙන ඈතට යන්න හදන අයුරැත් වැස්සක් සේ පතිත වන වර්ෂාවද  තම ප්‍රේමවන්තයා සේ දකියි.මෙය ඇයගේ නෙතු තුළින් වැහැරෙන බිඳුණු ප්‍රේමයේ වේදනාත්මක විරහාවේ කඳුළු වර්ෂාවක් වන්නටද පුළුවන.මන්ද සිත් මල වටා කොයිතරම් වැටුණත් එම වැස්ස ....., නැතිනම් වැස්සක් සේ වැටෙන ඇයගේ කඳුළුවලින් හදවතේ පිපි කුසුමක ප්‍රේමයේ මතක මත කඳුළු වැටුණත් ඒ පිපුණු කුසුම් මල්පෙතිවල පැහැය තවමත් බොඳවෙලා නොයනයුරැ ගම්‍ය කරන්නේ කෙතරම් හැඬුවත් ඇයගේ හදවතේ උපන් ප්‍රේමණීය සපුෂ්පය එදා වගේම තවමත් එලෙසම යන අදහසක් ඉස්මතු කරනවාදෝ කියා හැඟෙයි. කෙසේ නමුත් පරිසරය තුළ උපමා අලංකාර සංකේත භාවිතය විරහාව වුව ප්‍රේමණීයව ඉස්මතු කිරීම මොනවට ගම්‍ය වේ.


සිත හැඳිනුවෙත් ඔබයි

පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි

නුඹ මගේ සිත අරන් ගියා පුදුමයක් නොවෙයි.....


 මේ පවසන්නේ සැබවින්ම ඇය කෙරෙහි ප්‍රේමය පිළිබඳ සුභවාදී හැඟිමක් නොවුවද ඇය පසුපස පැමිණම ඇයගේ හිත තේරැම්ගැනීම හා ඒ හිත ප්‍රේමයෙන් පුරවා සනසාපු නුඹ මගේ හිත අරන් ගිය එක පුදුමයට කරැණක් නොවන වගයි. තාරැණ්‍යයේ විටෙක එලෙසය හිත්ගත් යුවතිය ය⁣නඑන හැමතැනම  බැල්මකින් හෝ නෙතඟින් හෝ කතා කරන්න අවස්ථාව සපුරාගෙන තමන්ගේ ප්‍රේමය පිළිගන්නතුරැ ඇයගෙන් කැමැත්තක් ලැබෙනතුරැ පසු පසම හඹා යයි....ප්‍රේමණීය මුදු හැඟුම් පිරැණු වඳන්වලින් ඇයගේ හිත සනසා ඇය⁣ට ප්‍රේමය පිළිබඳ තිබු අවතක්සේරු නිර්නායකයන් ඉවත් කර ප්‍රේමය ඇයගේ සන්තානයේ ජනිත කරවන්නට ඇත......ඉතිං එවැනි ප්‍රේමයක් තුළ තරැණ නව යොවුන් යුවතියකගේ හදවත චලනය නොවී තියෙයිද ......මෙතරම් ප්‍රේමණිය ඇරයුමක් ඇය පසුපස හඹාගෙන ඇයගේ හදවත පතාගෙන ඇයගේ ප්‍රේමය වේලාගන්න බලාගෙන පසුපස එද්දී......ඉතිං ඇයගේ හදවත ඔහු අවසානේ රැගෙන ගිය අයුරු හාස්කමක් නොවන අයුරු ඉතාම ප්‍රේමණීය අමන්දානන්ද හැඟිමෙන් ඇය පවසයි........

 


සිත තනිකලෙත් නුඹයි

මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි

ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි


අවසානේ අසන්නාගේ හදවතද හීනීයට ඇය ප්‍රේමණීය තත් අතර විරහාවෙන් ⁣සියුම්ව කොනිතිගසයි......කෙසේ නමුඳු හඹාගෙන සොයාගෙන ආවද මගේ සිත අවසානේ නුඹ තනිකලා.....එය සැබවින්ම වේදනාකාරියි. මන්ද ඇයගේ පසුපසම ඇවිත් වසර තුනක් පෙම්කර අවසානේ ඇයගේ හිත තනිකිරීම ප්‍රේමය තුළ සධාරණද.......නමුත් කෙලෙසක කොහොම හමු වුවත් අපේ හිත් තව එකෙකු නිසා තනිවෙන  බවද විරාහ රසයෙන් හදවත කම්පනය කරයි ප්‍රේමණීය තත්ස්වරයෙන්.අපේ හදවතේ ඉතාම සියුම් තැන් දන්නේ  ඉතාම ආශක්තව හිඳින ප්‍රේමණීය මිනිසුන්ය.ඉතිං ඒ සියුම් තැන් සොය සොය ප්‍රේමයෙන් ස්පර්ශ කළ ඔහු පසුව ඒ සියුම් තැනටම දැඩි වේදනාවක් ගෙනදුන් බව ඉතා ළයාන්විතව පවසයි.සැබවින්ම ලෝකස්භාවය මෙය නොවෙද දුක අයස අතර ලෝ අටදහමකින් තුලනය වන ජීවීතය තුළ ප්‍රේමය තුළ විරහාව සංක්ෂිප්ත කිරීම මොනවට පහදන්නේ මේ ස්භාවධර්මයේ නීතීයයි.නමුත් කෙතරම් රිඳෙව්වත් ඒ රිඳුම් තුළටද ප්‍රේම කරමින් තව තවත් ඒ මත්තේම ඒ මතකයේම  ජිවිතේ පුරා නවතින හිත ඒ තැනින් මුඳවගන්න බැරි තරමට හිත බැඳුනු ප්‍රේම කතා මේ අහස පොළව මත ඉකිබිඳලා ඇතිද? තවමත් ඉකිබිඳිනවා ඇතිද?  හිතේ ප්‍රේමණීය හැඟිමක් නොතිබුණ ඇයට ප්‍රේමයේ හදේ ලියකමි කර අවසානේ විරහාව මතකයේ අතර නටඹුන් කර ඇයගෙන් ඔහු සමුගැනීම ඇයට දරාගන්න තවම පුළුවන් උනාදෝ නැද්ද කියා නොදනිමි....නමුත් ඇයගේ ප්‍රේමණීය විරහාවේ සිතුවම අැයගේ මිතුරිය පැඳිපෙළෙන් පෙළට යමුනා මාලනී මහත්මිය ඇයගේ තෙළිතුඩින් ආත්මීය කර වර්ණ ගන්වා ගීතයක් ලෙසට වා තලයට මුසු කළ පසු ඇය විටෙක ඒ ගීතය තුළින්ම සැනසෙන්න ඇති.........සැබවින්ම විරහාව මෙතරම් රසවත්නම් ඔබට එය විඳින්න හැකිනම් ප්‍රේමය කෙතරම් සුන්දර ඇතිද? නමුත්  ප්‍රේමය තරම් විරහාව කිසිදා ආත්මාර්ථකාමී නැත......විරහාව ප්‍රේමණීය හදවත් හැමදාම දුරින් හිඳ අහිමිව යන ප්‍රේමපුරාණේ නටඹුන් දෙස බලා සැනසී හිතින් හෝ රහසින් සිහින් ඉකිබිඳුම් මැද ප්‍රේමය හදවතේ සැමදා සඟවාගත්තා පමණි......


✍️ සුරවීර ආරච්චිගේ කමණි

Saturday, March 28, 2020

ගීතයක හද ගැස්ම

nimwalallenaha.blogspot.com



                         විචාර අංක  03                         _________________
"සඳකැන් වැසිලා" (Sandakan Wasila) 1970 මැද භාගේයේ ගායනා කළ මේ ගීතය වික්ටර්, ප්‍රේම කීර්ති සුසංයෝගයේ තවත් අති විශිෂ්ට නිර්මාණයකි.
මෙම ගීතය එදා සේම  අදටත් පවුල් සංස්ථාව තුළ  තුන්වෙන්නෙකුගේ පැමිණිම තුළ  සිදුවන ඝට්ටනය තුළ ස්වාමියෙකුගේ  හැසිරීම ඉතාම සියුම්ව ඉවසිමෙන් එම වේදනාව දරාගන්න අයුරු ප්‍රේක්ෂක හදවතට දනවන අයුරු අපූරැය. විරහාව වුවද කෙතරම් ⁣වේදනාත්මක වුවද එය ප්‍රකාශ කරන හැඟිම්  සමුදාය තුළ ප්‍රේක්ෂක හදවතට ලබාදෙන සිතුවිලි සමුදාය ඉතා පිරිසිදුය.
සඳකැන් වැසිලා අඳුරේ එතිලාගණඳුරු රෑ තනිකම නෑසොයා එන්න ගණඳුරු තරු නිවලාමගේ එළිය අද ඔබ පමණී ....
මේ තුළින් දනවන්නේ තමන්ගේ ප්‍රිය බිරිඳ වෙනත් කෙනෙකු හා ප්‍රේමයෙන් වෙලෙන අයුරැ දකින ඔහුගේ ඇස් පසුව ඔහුගේ හදවත සමඟ හුදකලාවෙන අයුරැයි..ඔහු එම වේදනාකාරි දර්ශණය සඳකැන් පවා දැකගන්නවාට අකමැති වෙනවා. එම නිසාම සඳකැන් අඳුරේ දවටලා සඳ තරැ ආලෝකය පවා නිවලා අන්ධකාරයේ ඔහු තනිවුණ තැනට එන්න කියන්නේ සඳේ  හා තරැවල ආලෝකයෙන් මෙය ලෝකයට දකින්නට හෝ බැරිවෙන්නට වසන් කර ඔහුගේ එකම ආලෝකය තම බිරිඳ නිසා ඔහුවෙත  එන්න කියන ආයාචනය හා බිරිඳ ඔහුගේ විශ්වාසය බිඳෙන තැනට කටයුතු කළද ඔහු තවමත් බිරිඳගේ ගරැත්වය රකින්න තරම් ප්‍රේමය තුළ සුදු චරිතයයක් එම ප්‍රතිබිම්බය තුළ දර්පණය කරන අයුරු ඉතාම අානන්දනීය බව පසක් කරගත හැක.
ජිවිතම සතු එකම සුවේහී සර පහරක වෙලෙනු පෙනේමේ ලොව මා සතු ඈ සතු ඒ නෙතුඅසල් වාසියෙකු සොයනු දැනේ.....
සැබවින්ම විවාහක බිරිඳකට හෝ ස්වාමියාට සතු එකම සුවය යනු ඔහුගේ බිරිඳ ඇයගේ සැමියා හරහා ගොඩනැගුණු සමාජයේ පුංචීම එ්කකය වුවද පවුල් පද්ධතිය යනු තම තමන්ගේ වටිනාම වස්තුවයි. ප්‍රේමය තුළදි තමන්ගේ ඇස් දෙක මෙන් රැකගන්න වෙර දරණ ප්‍රේමවන්තයින් හෝ ප්‍රේමවන්තියන් දැකගත හැක...
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු.......
ඔහු සතු ඇස්දෙක බඳු ප්‍රේමයේ හිමිකාරියගේ ඇස් දෙක මෙතෙක් කල්  සතුවුයේ  ඔහුට පමණයි .ඔහුගේ රැව දකින්නටම මඟ බැලු ඇස් වෙනත් අයකු දැකගන්නට එම ආගන්තුක ප්‍රේමවන්තයා දකින්න සැරසෙද්දී කලබලකාරී බිරිඳගේ හැසිරිම සැමියාගේ දෙනෙත මඟහැර යන බිරිඳගේ ඉරියව් කෙතරම් සංය⁣මයෙන් ඔහු දරාගන්න ඇතිද? තමන් සතු වූ ප්‍රේමය මොහොතින් මොහොත අන්සතු වෙද්දී ස්වාමියෙකුගේ අභ්‍යන්තරය මානසික ඝට්ටනය මෙතරම් සංයමයෙන් හුවා දැක්වීම තුළ වෛරයෙන් තොර ප්‍රේමණීය විරහාව තුළ හැමදාම මතුදාටත් ප්‍රේමය හුස්ම ගන්න බවත්  සැබෑ ප්‍රේමයේ පැවැත්ම එහි බවත් ප්‍රේම කිර්තිද අල්විස් අග්‍රගන්‍ය වූ කලාකරැවා මොනවට මෙම පදතුළින් ඉතා සියුම් සංය⁣මයෙන් ඉදිරිපත් කිරීම උසස් මානූෂිය හැඟිම් සමුදායක ප්‍රේමණීය විරහාවේ සිතුවමකි.......
මා නැත අන්සතු සිත් බිඳලාදෑතම බැඳගෙන ඉඳිමි බලාමේ ලොව යම් දවසක අපි වෙන්වෙමුරහස් අහස් තලයට පවරා......
මේ තුළින් ගම්‍යවන්නේ අපූරෑ චිත්ත රෑපයකි .පවුල් ජිවිතේ ඇති වූ ඝට්ටනය තුළ ඔහු නැවත නැවත ඔහු කළ කී දෑ නැවත නැවත සිතමින් පසුතැවීම තුළින් ඉස්මතු කරන්නේ ඔහු  කවදාවත් අන්සතු දෑ බැඳී හදවත් කෙරෙහි ඔහුගේ ඇල්මක් නොතිබුණ බවත් ඔහු එවැනි බැඳිමක් බිඳින්නට කිසිදා ආත්මාර්ථකාමී නොවු අතර තම දෑත බැඳගෙන ප්‍රේමයේ වියෝසරින් කල්පනාවේ නිමග්නව හිඳින ස්වාමිපුරුෂයකුගේ රැව චිත්ත රෑප තුළ විචිත්‍ර අයුරින් සිතුවම් වේ.
"මේ ලොව යම් දවසක අපි වෙන්වෙමුරහස් අහස් තලයට පවරා......"
ඔහු දැන් දෙළොවක අතරමංව කල්පනා කරනවා තව දුරටත් තම ඇස්දෙක මෙන් ප්‍රේමකළ බිරිඳ ඔහු හා රැඳෙයිද  නොරැඳෙයිද කියා.....ඔහු වේදනාව දැඩි කරගෙන ඉතා පරාර්ථකාමී හැඟිමෙන් යුතුව පවසන්නේ ඔබට වෙන්වෙන්න අවශ්‍ය වුවහොත් අපි වෙන්වෙමු මට මීට වඩා ඔබ වෙනුවෙන් තව දුරටත් කළ හැකි දෙයක් නැහැ .....නමුත් මම ඔබව  බලෙන් මා තුරැලේ තබාගන්නේ නැහැ නමුත් වෙන් වෙන දවසක මේ රහස් හිස් අහසට විතරක් අපි පවරමු  ලෝකයට නොදැනෙන්න ලෝකයෙන් වසංකරලා ...රහස රහසක් අයුරින්ම ......    මනුෂ්‍යත්වය තුළට කෙතරම් ඉවසීමක් සංයමයක් ලබාදෙන්න තරම් තමන්ගේ සිසීකඩ යන දිවිහිමියෙන් රැකගත් පවුල් ජීවීතය ඝට්ටනය වෙද්දී ඔහු ඒ රහස සඟ⁣වගෙන තම බිරිඳ වෙන්වුවත් තමන්ගෙන්, ඇයගේ ගරැත්වය රැකගන්න තරම් පූජනීය ප්‍රේමයක් තුළ විරහාව පරාර්ථකාමීව භාරගන්න තරම් උසස් මානසික තලයකට අසන්නාව රැගෙන යෑම සැබවින්ම ඉතාම සියුම්ව ගීතය පුරාම මොනවට ග්‍රහණය කිරීම මිනිස් ජීවීතයට කලාව තුළින් ජීවත්විමේ කලාව ගම්‍ය කිරීම ප්‍රේක්ෂකයාට සංවේදී ජීවීත පාඩමක් ආශක්ත කරවීම ඉතාම ආනන්දජනකය....
✍️සුරවීර අාරච්චිගේ කමණි

Friday, March 27, 2020

ගීතයේ හද ගැස්ම

විචාර අංක 02

nimwalallenaha.blogspot.com


ගීතයට හඬ මුසු කරන්නේ ප්‍රදීපා ධර්මදාස සමඟින් ලක්ෂ්මන් විජේසේකරයන්ය. මෙම ගීතය තුළ අපිට ඉදිරිපත් කරන අත්දැකීම  අප සමාජය තුළ දකින අත්දැකීමකි.නමුත් එය අපූරත්වයනින් සංයමයෙන් ඉදිරිපත් කිරිම නිර්මාණය පුරා මොනවට ගම්‍යය වේ.

        මිතුරැ පෙම පාසලේ,විශ්ව විද්‍යාලයේ ,එදිනෙදා සමාජ⁣ය තුළ ගැටෙද්දී ඇතිවිය හැකිය.කාලයක් තිබු මිත්‍රත්වයක් ප්‍රේමයකට හැරෙන්නට පුළුවන. තම මිතුරියගේ රෑප ස්භාවට හෝ කිනම් හෝ වෙනත් ගුණයකට හෝ හිත බැදී ප්‍රේමණීය හැඟීමක් මුසුවන්නට පුළුවනය.නමුත්  කුමන  අයුරින් ප්‍රේමයක් ඉපදුනද එය විවාහයක් තුළින්ම එකතුවීම දකින්නට ලැබීම අවිනිශ්චිතය. මන්දයත් බොහෝ බධා තුළ හා ගැටුම් විවිධ සමාජ තත්ත්වයන් තුළ විටෙක මතකයක් ලෙස දෙහදක් දරාගෙන වෙන්වෙන ප්‍රේමකතා ඇත.එවන් ප්‍රේමණීය හැඟිමක් හදවතින් අමතක කර ඉවත් කරන්නට අපහසුය. නමුත් මෙහි කථානායිකාව පවසන්නේ මිතුරැදමට එහා ගිය ප්‍රේමයක් ඇති නොකර ගැනීම සුදුසු බවයි.මන්දයත් කිනමි හෝ සමාජයිය ,ආර්ථික ,පවුල් පසුබිම්,පන්ති භේදය කිනමි හෝ ගැටළුකට මෙම කථා නායකයා හා කථා නායිකාව මුහුණ දී ඇත.


සුපෙම් හැඟුම් ඔබෙන් එපා


මිතුරු දම් විනා


නෞකාවකි ඔබ ඈත සමුදුරේ


මා පහන් ටැඹයි මෑත ගොඩ බිමේ ... //


මහා සයුර මැද යාත්‍රා කරන නෞකාවකට  ප්‍රදිපාගාරය නිසැකවම දැකගන්නට පුළුවන.නමුත් කිසිදිනයක පහන් කණුව වෙතට එම නෞකාව යාත්‍රා කරන්න නොහැකි පරිදි ඈතින් ඉඳන් දකිමින් වෙන්වන්නට සිදුවන බව පැවසීම අපුරෑ චිත්‍ර රෑපයකි.එය අසන්නාගේ හදවත තුළ සියුම් රිඳුමක් රිද්මය කරවන්නට තරම් අපූරත්වයකින් පිරී පවතී.


තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ


දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්


කිසි දින අප හමු නොවන බව දනිම්


සිහිනය මිය යා යුතුය මේ ලෙසින්


තරැ එළිය යනු ඉතා පුංචී ආලෝකයකි.එම එළියෙන් කථානායකයාට යන හරි මඟ සොයායෑම අපහසු නමුත් ඒ මඟ සොයාගෙන යන්නට සිදු වී ඇත.එය දුෂ්කරය වේදනාබර හැඟිම්බර මොහොතකි.ගොඩබිම සිටින කථානායිකාව පහන්ටැඹ වුවද එහි ආලෝකය තිබුණද ඔහුට එම ආලෝකයට ළංවෙන්නට අවකාශයක් නැත.ඔහුට ගොඩබිමට ඒමට බැරිබව පවසන්නේ කිසි දා එකිවන්නට නොහැකි හෙයින් ඔහු යන්නේ දියඹට බවයි එනම් ඉන් ගම්‍යය වන්නේ කිසිදිනයක එකතුවන්නට නොහැකි හෙයින් හදවතේ ඉපදුන සිහිනය මේ අයුරින් වෙනවන විට හදවත තුළම මිය යන බවයි.එය වේදනාවකි නමුඳු ඉවසාගෙන යා යුතුව ඇතිබව හැඟිම්බරව මුසුකිරීම සැබවින්ම සියුම් ඉඳිකටු තුඩු සේ දැනෙන ප්‍රේමණීය වේදනාවකි.


 

පෙරයුරු සැඟවෙන මොහොතක තනි වී


ඉකි බිඳිනෙමි වියරු වී පාළුවෙන්


ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා


නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්


නමුත් මෙහි කථානායිකාවද ඔහුට නොකිව්වාට හිත තුළ ප්‍රේමයක් සඟවාගන්නට ඇත.වෙන්වීම හදවත පාරන තැන වුවද ඇය පවසන්නේ තිබුණ හීනයක් එලෙසින් මිය යාමට දෙන්න හැකිද ....අතීතය යළි යළි සිහිවෙද්දී ඒ තුළ තනිවෙන මතකයේ වේදනා තුළ ඇය වියරැ වැටී හුදකලාව නෙතු සැලුවත්....නැවත ඔහුගේ රැව දැකගන්නට ඈත හිඳ හෝ දෙනෙත් කොපමණ කාලයක් හෝ වෙහෙස  වුව මඟ බලන අයුරැ බව පවසයි. එම මතක කිසි දින හදවතේ නොමැකෙන සටහනක් සේ ඇය හැඟුම්බරව පවසයි.එය අපූරෑ චිත්ත රෑපයක දැවටෙන සියුම්ව හදවත පාරවන ප්‍රේමණීය හැඟුමකි.... ඇය සමුදෙන්නේද බලාපොරොත්තුවක් දරාගෙනය එනම් නැවත දැකීමක් බලාපොරොත්තුවෙනි....

ප්‍රේමයේ  ඔවුන්ගේ හිත් දෙපැත්තට වුවද ඔහු දැකීම හෝ සතුටක් ලෙස ඇය සිතයි කවදා හෝ....මේ විලස  වෙන් වුවද හදවත තුළ  මතකය දරාගෙන අතීතයට හෝ මතකයට පෙම් කරන කථානායකයෝ  හෝ කථා නායිකාවන් අදටත් මේ මිහිතලයේ  නිහඬව..... 

   "නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්...." බලාපොරොත්තුව තුළ නෙතු දල්වාගෙන කොහේ හෝ ඇති බව පසක් කර ඇත.එය අපූරෑ නිර්ව්‍යාජ ප්‍රේමයක සමුගැන්මක වේදනාවේ විරහාව සියුම්ව හදවත තුළ ගීතයෙන් උද්දීපනය කිරීම මොනවට ගීතය පුරා උඳුල කරයි....

Thursday, March 26, 2020

ගීතයක අරැත ලියමී හදබැඳී පන්හිඳෙන්

ප්‍රේමය යනු මිනිස් ජීවීතය උපතේ සිටම අවසන් සුසුම දක්වා ගණුදෙනු කරන අපූරෑ වූ බැඳිමකි.කොපමණ නිර්වචන තිබුණත් රිඳුම හා  තනිකම විරහාව රැඳී තැන ප්‍රේමයේ බැඳීම බොහොම වැඩිය. මිල්ටන් මල්ලවආරච්චි  මහත්මයා ගායනා කරන මෙම ගීතය පාසල් ප්‍රේමය හා සම්බන්ධ බව මොනවට ගම්‍ය වේ.  චිත්ත රෑප මැවීම මනරම්ය අපූර්වතම උද්දීපනයකි. කඳුකර පරිසරයක මාවතක සඳ එළිය චමත්කාර ජනකය.ඒ රාත්‍රීය කෙතරම් අපූරෑද ප්‍රේමයේ විරහාව පැළිපැඳියම් වෙච්චි හිත් කොනක මතකය දල්වන්න . හුදකලාව සීතල මදනල සුළඟ සඳ එළිය  කඳු යාය හා රාත්‍රීය එළඹෙත්ම පාළුවට ගිය මාවත  අපූරෑ සිතුවමකි. ස්භාවධර්මය එක්ක නැවතිච්ච  විරහාව විටෙක මනරම්ය එය හදවතක විඳින රටාව අනුව. වේදනාව සිතාරයක් සේ වැයෙන්නේ ඒ තත් අතර හිරිවැටුණ ප්‍රේමයේ මතක පොඳි ගැසුණු ඒ විරහාව  ඒ සඳ මඬල වැටුණු රාත්‍රීය තුළ යළි යළි මේ විරහාවේ  හඬ ඔහුට ජිවිතේ පුරා ඇසෙන්න කියා අයදින තරමට ඔහුගේ හිතේ උපන් ප්‍රේමයට ප්‍රේම කළ ඔහු පසුව ඒ ප්‍රේමයෙන් ලද විරහාවට ප්‍රේම කරන්නට තරම් අපූරෑ ප්‍රේමවන්තයකි.   පෙම වැඩුණුකාලයේ ඔවුන්නොවුන් මිමිණු කතා අහගෙන හිටපු සුළඟද ඔහුගෙන් වෙන්ව ගිය ප්‍රේමවන්තිය නිසා අසරණය.ඒ හා බැඳුණු පරිසරය එක්ක ඔහුට ප්‍රේමය මෙන්ම සුන්දර බැඳිමක් තිබෙන්න ඇති.ඒ පරිසරය වෙනස්ව දකිද්දී මාරැතය පවා එදා අහගෙන හිටියත් ඒ ප්‍රේමණිය කතා අද නෑසෙද්දී ඒ මාරැතය හඬනවායැයි ඔහු සිතයි.   ගැමි පරිසරය හා බැදුණු සුන්දර අහිංසක පාසැල් ප්‍රේමයක් බව "ගං ඉමේ මාදං කෑලේ ......යන වචන තුළින් ඉතා අපූරෑ සිතුවමක් තුළ අසන්නාගේ හදවත තුළ උද්දීපනය කිරීම මොනවට ගම්‍ය වේ. අතීතයේ ප්‍රේමය ගලා ගියේ ගම මෙන්ම සුන්දරව බව විචිත්‍රවත් කිරීම මනරම්ය.වර්තමානයේ ප්‍රේමයද ගම්බඳමිටියාවතද කෙමෙන් කෙමෙන් වෙනස් වෙමින් පවතී.අවසානේ "මා සොයා ආවා වගේ වෙන් වෙලා ගියා......." සැබවින්ම හිත ගත්තු අපූරෑ වචන පෙළ එතැනයි අපව සොයා එන දේවල් ඒ වගේම දුරස් වී යාම ස්භාවධර්මයේ නියතයකි....ළංවෙලා හිටි තරමටම වෙන්ව යාමද එසේමය....කථකයා තුළ ඇත්තේ සැබවින්ම නිර්ව්‍යාජ ප්‍රේමණිය හැඟුම් සමුදායකි.ඒ තුළින් ඔහු ලැබු   විරහාව ආත්මීයව විඳින්න ඔහු ජීවීතය පුරා සැරසෙයි.සමහරවිට ප්‍රේමවන්තිය සරසවි ප්‍රවේශ  ලබන්නට ඇත.ඉන්පසු වෙන්ව යන්නට ඇත....ඔහු ප්‍රේමය වෙන්වූ අයුරු හමු වූ අයූරැ පරිසරය හා ඒ අත්දැකීම් විඳින අයුරැ ඉතා අපූරත්වයකි.කොතැනක හෝ  ගිලිහෙච්ච ප්‍රේම කතාවක විරහාව යනු ප්‍රේමයේ සුන්දර තැනකි.එය ඔබ හෝ මම භාරගන්නා  ආකාරය අනුව එහි විඳීම හෝ විඳවීම දැනෙන බවද කිව යුතුය.
__________________
  1. ✍️© සුරවීර ආරච්චිගේ කමණි

ජීවීතයට සිතුවිල්ලක්

                 🌿🍁💕🌱❤🤲🤲🤲🍁🍁🍁 ජීවීතයට වදනක්                      _______________________________________________                   ...