Thursday, November 19, 2020

ජීවීතයට සිතුවිල්ලක්

                 🌿🍁💕🌱❤🤲🤲🤲🍁🍁🍁 ජීවීතයට වදනක්
                     _______________________________________________
 
                       එක්තරා මහලු මිනිසෙක් දවසක් වේදිකාවක් මත හිඳ  අසුන්ගෙන සිටින ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉතා හාස්‍යජනක විහිලුවක් කරනවා.එහිදී එහි සිටි සියල්ලන්ටම මුවඟට නතර කරගත නොහැකි සිනහාවක් එනවා.මොහොතකින් මේ මිනිසා නැවතත් එම විහිලුව ආයේත් සිදු කරනවා එවිට ප්‍රේක්ෂකාගාරයේ සිටින අඬක් පමණක් සිනාහවෙනවා. මේ මහලු මිනිසා තෙවන වරටත් එම විහිලුව නැවතත් කරනවා.එවිට කිසිවකු සිනාහවෙන්නේ නැහැ .ඔවුන්  එය දකින්නේ විකාරයක් ලෙස. පසුව මෙම මහලු මිනිසා ප්‍රේක්ෂකාගාරය අමතමින් මෙහෙම අහනවා"ඔබ එකම විහිලුවට නැවත නැවත හිනාහවෙන්න අකමැතිනම් ඔබ එකම හේතුවකට නැවත නැවත අඬන්නේ ඇයි කියලා....නැවත නැවත අඬන්නේ ඇයි කියලා ......." ප්‍රේක්ෂකාගාරයම විස්මය දනවන අයුරින් මහලු මිනිසා දෙස නෙත් දල්වනවා.

      ඇත්තටම අපි අපේ ජිවිතේ මෙය නොවෙද කරන්නේ.හිනාහවෙන්න දහසකුත් හේතු හෝ පුංචීම දෙයක් තිබුණත් ඒක විශාල විදියට දකින්න බැරිව පුංචී පුංචී දේවල් විශාල කරගෙන මානසික වදවේදනා විඳිම හෝ තමන්ගේ මෙන්ම අනෙකාගේ මානසික නිදහසද විනාශ කරමින් නිරතුරුවම විඳින ජිවිතේ විඳවිමක් කරගෙන නිනව්වක් නැතුව කාලය කා දමමින් තමන්ගේ ජීවීතය කරැමයක් ලෙස හිතමින් මරණය සැපයි කියමින් ශාප කරගන්න මිනිස්සු නැතිද...... ?

        ඇත්තටම ජීවීතය කියන්නේ ප්‍රශ්න පත්‍රයක් එහි ඔබට කිසිම ප්‍රශ්නයක් ,අභියෝග ,බධා,වේදනා,කඩාවැටිම්,දුක, නැත්නම් ඔබ දැනටමත් මැරිච්ච මනුස්සයෙක් යාළුවා .මොකද ජිවත්වෙලා අද දවස වෙනුවෙන් හැප්⁣පිලා අනාගතය සරසන මිනිස්සුන්ට තමයි ඒ ප්‍රශ්න පත්‍රය ලැබෙන්නේ.මරණය කවදා හෝ දවසක එනවාමයි.ඒ වෙනුවෙන් ඔබ කරදර විය යුතු නැහැ .නමුත් ඊට කලින් ඔබට ලැබුණු ඔය ජීවීතයට වටිනාකමක් දෙන්න.මැරෙන්න කලින් ජීවත්වෙන දවස් වෙනුවෙන් නැවත නැවත ඉපදෙන්න එහෙම ඉපදිලා තමන්ට ආදරය කරන ගමන් තමන්ට පුළුවන් විදියට තව කෙනෙක්ට වචනයකින් හරි දිරියක් දෙන්න .හැබැයි නැවත කිසිවක් බලාපොරොත්තුව නොවන පරාර්ථකාමී හැඟිමෙන් දෙයක් ලෝකයට කරන්න.කවදාහරි එදාට ඔබට මැරෙන්න පුළුවන් ලෝකයට වැදගත් දෙයක් දිපූ උදාර මනුෂ්‍යයෙක් විදියට. ඉතිං ඒ දවස එනකන් හැම දවසක ජිවත්වෙන්න.නැත්නම් ඔබට මැරැණා කියලත් නිදහසක් නැතිවෙයි හිතට.මොකද ජිවත්වෙලා ඉන්න කාලය තුළත් එළොව සිහියෙන් මෙළොව අතගාපු විපාක  නිසාම.

        ළඟින් ඉන්න මිනිස්සු ඔබෙන් උදව්පදව් ගත්තු මිනිස්සු වෙනස්වෙද්දී තමන්ට රිඳවගෙන ඒ මිනිස්සුන්ටත් රිඳවනවාද?.එපා ඒ දේ කරන්න එපා .මන්ද තමන්ට තමන් තව දුරටත් අහිමිවීම හා එපාවීමත් තමන් කෙනෙක් වෙනුවෙන් දෙයක් කළානම් ඒ දේවල්වල වටිනාකම අඩුවෙන එක විතරයි වෙන්නේ .යන මිනිස්සුන්ට යන්න දෙන්න නිහතමානීව.දුක හිතෙනවානම් අඬන්න හැබැයි තනියම .ඔබගේ කඳුළු මේ ලෝකයේ කාටවත් දැකීම හෝ පෙන්වීම ඵලක් නැහැ .ලෝකයට ඔබ දුර්වලයෙක් කියලා පෙන්වන්න ඔබට කිසිම උගත්කමක් නැහැ යාළුවා.ඒ නිසා තමන්ට ආදරය කරන්න තමන්ගේ හදවත රැකගන්න නිතරම.කාටවත් ඊරිසියා කරන්න එපා වෛර කරන්න එපා .මුහුණට බැන ගත්තත් මිනිස්සුන්ගේ පිටිපස්සෙන් හිඳගෙන මයින්ඩ් ගේම් දෙන්න එපා .ඔබට කවදාවත් සැනසීමක් නැහැ ඔබව මොහොතින් මොහොත වැනසීමේ යක්ෂයා වෙලාගනීයි.අනික් මිනිස්සු දිහා බලලා හූල්ලන්න එපා තමන් දිහා බලාගෙන තමන්ගේ ජීවීතය තමන්ගේ මනස ලස්සනට කැටයම් කරගන්න .ඔබට ලෝකයේ ඉන්න උතුම් මිනිස්සුන්ගේ ගුණාංග දකින්න පුළුවන් විදියට ඔබේ මනස තියාගන්න.නිතරම මිනිස්සුන්ගේ අඩුපාඩු හෝ වැරදිම එතකොට නොපෙනි යයි.මන්ද නිතරම ඒ දේවල් දකිද්දී ඔබට තියේන විසඳුම් මඟ හැරී යන්න පුළුවන් .

        ඔබ සිතන පතන අයුරැ හා ජිවත්වන රටාව සුභවාදී ලෙස වෙනස් වූ තප්පරයේ පටන් ඔබට සියල්ලම සුභවාදීව හා ඔබේ මනසට සුවදායිලෙස දැනෙන්නට පටන්ගනී.ඉතිං ජිවත්වීමට කොපමණ කාලයක් තියේවීද කියා හරියට කියන්න අපට නොහැකිය.නමුත් ඔබේ ජීවීත ගමනට අරුත එක්කර දවසක ඔබේ පවුලේ හා හිතවතුන් සේම තවත් කෙනෙකුගේ යහපත වෙනුවෙන් නිහඬව සේවයක් කර  හිතේ සතුටින් ඉන්නට හැකිනම් ජිවිතේ ඔබට ඒ සතුට සතුටක් මිසම කිසිදා ඔබගේ භෞතික වස්තුන්වලට සමාන කළ නොහැකිය. ඔබට නැතිදේවල් වෙනුවෙන් කනස්සලු නොවී තියේන දේවල් වෙනුවෙන් ස්තුතියි කරමින් නිතරම ඔබට මේ ලැබී ඇති ජීවීතය ගැන වුවද සතුටින් ඉන්න.එම ආත්ම තෘප්තිය මගින්ම ඔබ ජිවිතේට අවශ්‍ය අනෙකුත් ඉලක්ක හා බලාපොරොත්තු සපුරාගන්න.ඔබේ වටිනාම කෙනා ඔබයි.

               මන්ද ඔබ වගේ කෙනෙක් ඉන්නේ මේ ලෝකයේ ඔබම පමණයි.ඉතිං ඒ ඔබ කියන කෙනාව නිරතුරුවම සිනාහ මුසු මුහුණෙන් හා නොසැලෙන ආත්ම ශක්තියෙන් පුරවා පෝෂණය කරන්න .ඔබට ආදරය කරන්න .ඔ⁣බට ආදරය කරලා දලා ගිය වුවන්ට සමාව දිලා සතුටින් ඉන්න .මතක තියාගන්න ජිවිතේ සතුට ඔබට ලැබෙන්නේ බාහිරින් නොවෙයි ඔබේ ඇතුළාන්තය තුළින් ඔබ නිර්මාණය කරගන්න ආකල්ප හා අදහස් තුළින්මයි.ඒ අදහස් මනුෂ්‍යත්වයෙන් පුරවගන්න.පිඩාවට පත්වෙන දේවලින් නිරතුරුවම සමතුලිතව දරාගෙන ජීවීත ගමන සුන්දර කරගන්න වෙහෙසෙන්න.ඒ වෙහෙස කවදාහරි ඔබේ ජිවිතේ සාර්ථකත්වය පෙන්වයි.ඒ වටිනාකම වෙනුවෙන් හැම මොහොතකම අරුතක් දිවිගමනට එකතු කරගන්න .

✍️ Kamani Suraweera

 (සටහනට කරුණු එකතු කරගන්නේ ධනාත්මක වැඩසටහන් කිහිපයක් තුළින්ය.ඒ අතර jayspot වැඩ සටහන සිදු කරන  ජීනූ  ධර්මකීර්ති මෙනෙවිය විසින් ඉදිරිපත් කරන වැඩසටහන්වල කරුණුද මෙහි අන්තර්ගත වී ඇති බව ප්‍රකාශ කරන අතර මෙම සටහන හිතවතකුගේ ඉල්ලීමක් වෙනුවෙන් ජීවීතයට තැබූ සටහනකි)

"අම්මේ, කඳුළු ඇයි ලුණු රස.....?

🍁🌱🍁🍁🍁🌱🌿🌿

"අම්මේ, කඳුළු ඇයි ලුණු රස.....?
"අම්මේ,  මුහුදේ වතුරත් ලුණු රසයි නේද......?
 මිනිස්සු අඬපු කඳුළු ද අම්මේ මුහුදේ තියේන්නේ ?

" අම්මපා කෙල්ලේ පාඩුවේ වැඩක් කරගන්න නැති හැටී  නොයෙකුත් ප්‍රශ්න උඹට පුතේ......
    අහගනින්කෝ එහෙනම් පුතේ ....මහමුහුදට වඩා දේවල් දෝතින් බදාගන්න ගියහම තමයි අඬන්න වෙන්නේ පුතේ සාගරය තරම්.......කඳුළු ලුණු රස උනාට දුකට රසයක් නැහැ බන් .....හිතට දැනෙන දුකත් එක්ක මිනිස්සු අකුරැ දෙකක වචනයකින් එක එක රසවල් විඳවනවා බන්..... පුංචි දේවල්වලින් දුක් වෙලා අඬන මිනිස්සු හුරැවෙන්නේ නැහැ පුංචී දේවල්වලින් සතුටු වෙන්න මයේ පුතේ.......

      පුංචී දේවල්වලින් කනස්සලු නොවී පුංචී පුංචී තරු එළියකින් පවා සතුටු වෙන්නට අම්මා ඉගැන්නු හැටී තවම මතකයේ නටඹුන් වේ. 

       "අම්මේ තනිකම පාළුව කියන්නේ මොකක්ද ?
        තනිකම කියන්නේ අපි තනිවීම දරැවෝ තනි උනාම පාළුව දැනෙනවා ......උඹට තවම ඒක දැනෙන්නේ නැහැ මං ඉන්න නිසා.....හැබැයි පුතේ මම නැතැයි කියලා දවසක උඹ තනිවුණා කියලා හිතන්න කාරී නැහැ......

       " පුතේ රෑට ආකාසේ ලස්සන තරු පායනවා .....අමාවකක් නැත්නම් හඳත් තියේනවා ..... අර ඈත පේන කඳු පවා තනි උනාට හඳ එළියට ලස්සනයි පුතේ.......⁣උදේ කාලයේ කුරුල්ලෝ ගී ගයනවා.....මඳ සුළඟ හමනවා ඇලේ දොළේ වතුර උඹ වෙනුවෙන් ගලාන එයි පුතේ......උඹට බැඳෙන්න ඕන්නම් පරිසරයට බැඳියන් ජිවිතේ බැඳිම් පරිසරය හොඳාකාරවම උගන්වනවා පුතේ......අවට ලෝකයා එක්ක බැඳුණාම  මිනිස්සුන්ට ඉගෙන ගත්තු දේවල් පවා අමතක වෙනවා මයේ පුතේ සුරංගනා විමාන මවද්දී......උඹ පරිස්සම් වෙන්න ඕනී .කාරීයක් නැහැ කලබල වෙන්න ඒකට හැම තිස්සේම තමන්ට තමන් විතරයි පුතේ......තමන් කියන කෙනා අසරණයි තමන්ගේ සියලු  දෑ තමන්ම තනියම විඳින්න ඕනී අන්න ඒක තේරුම්ගනින් පුතේ කවුරැ ආවත් හීන පෙන්වන්න උඹ ඇහැ පියෙව්වොත් උඹේ හීන උඳුරගෙන යන එක විතරයි වෙන්නේ .නිතරම හදවත අවදියෙන් තියාගනින්.

                      වැරදුන තැන සිය පාරක් හැඳුවත් මිනිස්සු ආස හොඳපු රෙද්දේ  පැල්ලමේ සායම දකින්න ......ඒ මිනිස්සු අපිව දකින්නේ උන්ට ආස විදිහට පුතේ අපි ආස විදිහට නෙමෙයි.......ඒක ලෝක ස්භාවය. තේරුම් අරන් අවබෝධය තියේන මිනිස්සු අර කඳු වගේ පුතේ අව්වටත් වැස්සටත් දරාගෙන ඉන්නවා හැබැයි යාන්තම් හරි කලබල උනොත් නායේ යනවා.......චරිතයක් නායේ ගියහම ආයේ භාරගන්න සමාජයක් නැහැ පුතේ  ඒ නිසයි කියන්නේ නිතරම හිත අවදියෙන් තියා ගත්තොත් දරාගෙන ඉන්න පුළුවන් කියලා......

අල්ලගන්නවාට වඩා අත්හරින්න වෙන දේවල් මඟ හැරෙන දේවල් ගැන සිහි කල්පනාවෙන් හිටියාම පහසුයි.....හිත සැහැල්ලු කරගන්න ......සමහර මිනිස්සු එපා කියලා අතැරලා දාපුවා හොයන්නේ පණ ටික යන්න උනාම  පුතේ හිත හදාගන්න බැරිව ......එහෙම ජිවත්වෙලා  මොකටද බන් පුතේ අවසානේත් විඳවන්න ......

        "අම්මා කියන පුස්තකය බොහෝ තතු පහදා දුන්නද අකුරු අතරේ ලොකු අධ්‍යාපන සහතිකවලට හිමිකම් නොකිව්වාය.නමුත් ඇයගේ හදවත පරිසරය හා සමීපව දිවි ගෙවූ හෙයින් ඇය බොහෝ විට පරිසරයෙන් හා දහමෙන් ජීවීතය හඳුන ගත්තාය. අතීතයේ සොඳුරු තැන් සිහිකළ හැකි නමුඳු එහි  නැවති ජිවත්වන්නට නොහැකිය. අම්මා අද මිය පරළොව වුවත් ඇය වෙනුවෙන් පිං පුදනවා හැර කඳුළු එකතු කර  දෑස තෙත් නොවෙන්නට අම්මා ශක්තියක් වුවාය.

        දැනුදු මේ මතකයන් හදවත ස්පර්ශ කරන්නට වූයේ විහාර ගෙයි සිට මව්ගේ සුළඟිල්ලේ දැවටී යන දැරියක් නෙත ගැටීමෙනී. අම්මා පෙන් වූ නිදහස් මාර්ගයට හා අනුන්ව හොයනවාට වඩා තමන්ව සොයාගෙන ජීවත්වීමේ  අධ්‍යාත්මික රසය ලබා ගන්නට පෙර පිනක් ලැබුණිනම් ඒ  අම්මා නිසාමය.......කුඩා අවදියේ නොයෙකුත් ප්‍රශ්න අපට අසන්නට බොහෝ ඇත. නමුදු  අවබෝධයක් නොමැත වයසෙන් වැඩෙත්ම අප හා අප වටා ඇති ප්‍රශ්නද වැඩෙයි. නමුදු අද මා බොහෝ නිරාමිස සුවයක් විඳීමී. සංසාරය තව දිගු වන්නට සිතුවිලි සකසා කිනමි ඵලක්ද ? සිතේ ඉස්මතු වූ අතීතයේ මතකයන් තුළ තවත් නොගැටී බූ ගාන ලද තට්ටය පිරිමදිමින් භාවනා කුටීය වෙත වඬින්නට පිය ගැට පෙළ ළං වුවාය.......

✍️කමණි සුරවීර ( කලකට කලින් ලීව පුංචීම පුංචී කෙටි කතාවක්)
………………………………

Vidiyum munn (விடியும் முன்)-හිරැ උදාවට ප්‍රථම

Vidiyum munn (விடியும் முன்)-හිරැ උදාවට ප්‍රථම
_________________________________________________

            29.11.2013 දින ප්‍රේක්ෂකකයන් වෙත ඉදිරිපත් කරන Vidiyum munn (விடியும் முன்)-හිරැ උදාවට ප්‍රථම දමිළ සිනමා සිතුවම අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Balaji K.Kumar මහතා විසිනි.මෙම සිනමාව සිතුවම ගැන කතා කරද්දී මම ප්‍රධානම චරිත දෙක ඔස්සේ කතා කරන්නෙමී.මන්ද කුමන හෝ පුද්ගලයෙකුට මෙම සිනමා සිතුවම නරඹන්නට සිතුණොත් එම සිතුවිල්ලට බද්ධ වන කැමැත්ත හා ආසාවට හානියක් නොවන්නටය.මෙහි  ප්‍රධානම චරිතය වන රේඛාගේ චරිතයට පණ පොවන්නේ  Pooja G.Umashankar  දකුණු ඉන්දීය හා ශ්‍රී ලාංකීය සිනමාව ජයගත් දක්ෂ නිළියයි.ඇය වටා ගෙතෙන කතාවේ ළමා චරිතයට වන නන්දනීගේ චරිතයට පණ පොවන්නේ Malavika Manikuttan වන කුඩා දියණියයි. ඉන්දීය සමාජය තුළ බොහෝ සිනමා ඔස්සේ බොහෝ විට මෙම සමාජ විවරණය හුවා දැක්වීම දැකිය හැකිය.මෙය සමාජයේ පවතින හා සිදුවෙමින් පවතින නොනවතින ගැටළුවක් හා ඛේදනීය සිද්ධියකි.මුළු මහත් ලෝකයේ මානව සංහතියටම ලබා දෙන පණිවිඩය තුළ  අපූරත්වය ඉතා මැනවින් මුහු කළ නිර්මාණයකි.

                             Vidiyum munn (விடியும் முன்)-හිරැ උදාවට ප්‍රථම මේ තුළින් රචකයා සමාජය නමැති වේදිකාවේ තිරපටය විවෘත කොට සමාජයේ දෑසද හදවතද මනසද එකවර විවර කරන්න ගත් වෑයමක් කිවිවොත් එය නිවැරදිය. මේ තුළ කතිකාවට නැඹුරු වෙන්නේ ගණිකා වෘත්තීයේ යෙදෙන කාන්තා චරිතයක් හා එම චරිතයට අනපේක්ෂිත ලෙස සමාජ පෙළඹවීම හා සමාජ දැක්ම තුළ ඔවුන්ට තිබෙන ලේබල්වීමේ හිමිකම හේතුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් මෙම සමාජයේම ජිවත්වන තවත් මානව වර්ගයා විසින්ම අමු අමුවේ දුෂණය කරද්දී කෙළසද්දී තැරව්කරුවෝ අතින් අතට යද්දී කාගේ වුවමනාවකට කාසියේ බලයට වාසිය ලැබෙන මිනිස්සුන්ගේ පෙළඹවීම මතම ළමා ගණිකාවක්ද මෙම කාන්තා ගණිකාවට සමාජයේ පෙළඹවීම උදෙසා සපයා දීමට කරන්නාවූ බල කිරීම හා පෙළඹවීම තුළ මෙම කාන්තා චරිත ය එනම් රේඛා සහ ළමා චරිතය වන නන්දනී මුහුණ පාන ඉතාම අමිහිරි වූ කටුක අත්දැකිම් සමුදායකි.
                                        රේඛා යනු ඉහළ පෙළේ ධනවතුන් වෙනුවෙන් කාලයක් තම ආත්මය කැප කළ යුවතියකි.ඇය කරන්නේ හරි දෙයක්දෝ වැරදි දෙයක්දෝ කියා නොදන්නා අවධියක තම නිවසින් පැන යාම නිසා අවසානයේ අවාසනාවන්ත අයුරින් රැකවරණය සේ ලැබෙන්නේ සමාජයේ පවතින ඉතාම අන්තම පහත්ම තැනකිනි.හරි වැරදි නොතේරෙන අවධියක තමන් වැටෙන අන්තම තත්ත්වය ගැන වයසින් වැඩෙත්ම වැටහුණද ආපසු හැරෙන්න පාර සොයාගන්න හරි ළිං කටෙන්ම ගොඩ එන්න හරි ඔවුන්ට කාලය ලබා දෙන විසඳුම් කාලයම පමණක් විටෙක තිරණය කරයි.මන්ද මේ සමාජය එතරම් අහිංසක නොවන නිසාය.නමුත් ඇය නිවසින් පැන ගිය හරි හේතුවක් මේ තුළ දකින්නට නොලැබෙයි.එය ප්‍රෙක්ෂකයාට සිතන්නට භාර දී නිර්මාණකරැවා නිර්මාණය දියත් කර ඇත.ඉහළ ගණන්වලට විකුණුනු ඇයව තවත් වෙළෙන්දෙක් විසින් යම් ආකාරයකින්  ඩැහැගෙන ඔහුගේ මුදල් තර කරගන්න වෑයම් කර ඇති බව මෙය නැරඹිමේදි අවබෝධ වේ.
                                                   මෙය ආරම්භයෙදීම යන දෙබසයෙහි සිංහල තේරැම වන්නේ "රේඛා ඔයා ගෙවල් මාරැ කලා ,බිස්නස් කරන තැන් මාරැ කලා ,නම්බර්ස් මාරැ කලා ඒත් මම ඔයාව හොයාගෙන ආවා යන " දෙබසයි .මෙය රේඛා හට පවසන්නේ ඇයගේ කාන්තා ශරීරයේ වෙළඳාම  දෙවෙනි වතාවට යොදාගත් පුද්ගලයා විසිනි.මේ තුළින් රසිකයාට ඉතාම තිව්‍ර ලෙස ලබා දෙන පණිවිඩය වන්නේ මෙවැනි කාන්තාවන් හට මෙවැනි වෙළෙන්දන්ගෙන් ගැලවීමක් නොමැති බවයි.ඔවුන් ඉව කර කර ඔවුන් පසු පසම ඔවුන්ගේ අඳුරු මතකයන් සමඟ සෙවනැල්ල මෙන් හඹා එන බවය.කෙසේ නමුත් රේඛා යන චරිතය තවම එම අඳුරු සමාජයෙන් ගැලවී නැත. ඇය ඇයව විකුණාගෙන කන ⁣වෙළෙන්දන්ගෙන් වෙන් වීද හුදකලාවේ වුවද නිරත වූයේ එම ගණිකා වෘත්තීය තුළමය.පරක් තෙරෙක් අවබෝධයක් නොමැති අවධියක ඇය වැටුණු නරකාදියේ ඇයට ගඳ සුවඳක් තවම අවබෝධ වී නොමැත.නමුත් ඇය පසු පස පැමිණෙන වෙළෙන්දන් හඳුනන්නේ ඒ නරකාදීය තුළ ටික ටික තරවන ඔවුන්ගේ පසුම්බියේ මුදල්වල සුවඳ පමණි. රේඛාව සොයා ඔහු පැමිණෙන්නේ ඇයට ආදරයකට හෝ දුක සැප විමසන්න නොවෙයි.

                                            තමන්ගේ ප්‍රධාන පෙළේ ධනවතකුගේ ඉල්ලුමට සැපයුම ලබා දීම නිසා ලැබෙන මුදල්වල වටිනාකම හේතුවෙන් ඔහුට අවශ්‍ය එම වෙළඳ භාණ්ඩය කෙසේ හෝ එම ධනවතාට ලබා දී ලැබෙන  මුදලේ වටිනාකම පිළිබඳ පමණක් සිතීමට හා සැහීමකට පමණි.එම අරමුණ වෙනුවෙන් ඔහු රේඛාව සොයාගෙන පැමිණෙයි.ඔහු පවසන ආකාරයට එම ධනවතාගේ රසය වෙනස්ය.සැබවින්ම මෙම නිර්මාණය නැරඹීම තුළ ඔබට මිනිසුන්ගේ රසය විඳිමක්ද විඳවිමක්දෝ කියා හැඟෙයි..කිසිඳු අසභ්‍ය දර්ශණ හැඩ තල නැතත් සමාජයේ නිරැවතෙහි හැඩතල මොනවට ග්‍රහණය කර ඇත .ඔහු රේඛාට පවසන්නේ අවුරැදු 14-15ක ගැහැණු ළමයෙක් එම ධනවතාගේ පවස නිවන්නට අවශ්‍ය බවය.රේඛා පෙරළා ප්‍රශ්න කරන්නේ "ඇයි දරැකමට හදාගන්න ටද කියාය........." මෙය සමාජයට ගැසු ප්‍රබල පහරකි. ළමා සිරැරකින් තම කාමුක සුවය හොයන මිනිස් සංහතියට ගැසූ වාග් ප්‍රහාරයකි .එය නරඹද්දී හාස්‍යජනක බව එම අවස්ථාවේ දැණුනද එය අපූරු ප්‍රශ්න කිරීමකි.
                                    මෙම නිර්මාණය සහමුලින්ම මම නොලියමී.මන්ද ඔබ ඔබගේ මනසින් රස විඳින මොහොතක ඔබේ මනෝභාවයට ඔබගේම රසයක් දැනීම අවශ්‍යය නිර්මාණයකට ඔබගේම කියවීමක් අවශ්‍ය වන හෙයිනි.රේඛා සැබවින්ම සමාජයේ පහත්ම වෘත්තීය වන ගණිකා වෘත්තීයේ උන්නත් ඇය කුඩා දරැවෙක් එවැනි තැනට වැටෙනවාට කිසිසේත්ම එකඟ වන්නේ නැත.නමුත් ඇයගේ ජිවීතයේ අසරණකමද ,ඇයගේ ජිවීතයේ ඇයම ඉන්න පසුබිම තුළ ඉන්නා මිනිසුන් හා සමාජය විසින් ඇයට කරන පෙළඹවීම හා සියල්ලම මුදලට ඔවුන්ගේ අංශු මාත්‍රය පවා විකිණෙන විට ඇයට ප්‍රතික්ෂේප කරන්නට තිබු ශක්තිය පවා අධෛර්යට පත් කර මෙම කුඩා දරැවෙක් සැපයිම තුළ ලැබෙන මුදල ගැන හා අනුකම්පාව හා දයාව තුළ කිසිවක් උපයාගත නොහැකි බව පවසා ඇයගේ මනස පොළඹවන අයුරින් මෙහෙවන අයුරින් මේ සමස්ත ලෝකය පුරා මෙවැනි වෙළෙන්දන් ස්ත්‍රීය හා ළමා සමාජය මේ මොහොතෙත් ඉතාම නින්දිත ලෙස විකුණමින් සිටිනවා ඇත.නමුත් දකින්නේ  කොහොමද අපේ ඇස් පවා ගණිකාවක් දෙස බලන අයුරින්ම ලෝකයක් බලද්දී ඒ ජීවීත එවැනි තත්ත්වයට පත් වූ හේතු කරැණු කාරණා වැළලී ඉස්මතු කරන්නේ හා ඉස්මතු වන්නේ ඔවුන් සිදුකරන වෘත්තී⁣යේ හා ඔවුන්ගේ ජිවීතයේ පහත් බව පමණයි.
                                                  රේඛා මෙම පහත්ම සැපයුම වෙනුවෙන් ගැහැනු දරැවෙක් සොයා ගන්නේ ඇයගේ මනසින් හට ගන්නා සිතුවිලි හා සමාජය සමඟ පොරබඳිමින් බව රේඛා වචනයෙන් නොකී බොහෝ දේ භාවමය අයුරින් මුහුණේ ඉරියව් ඔස්සේ ප්‍රේක්ෂක සංතානයට කියවන්නට ඉඩකඩ සලසා දෙයි.කෙසේ නමුත් සුන්දර හිනහාවක් හිමි බොහෝ දේ හදවතේ සඟවා සිටින අවුරැදු දහතුනක පමණ යුවතියක් රේඛාට සොයාගන්න උපකාර කිරීම කරන්නේ සහ ඇයව මේ වෙනුවෙන් මෙහෙයවනු ලබන්නේත් මෙම සමාජය විසින්ය.එම කුඩා දියණිය නිවසින් පැන මෙවැනි අනාරක්ෂිත සමාජයකට මුහුණ පාන්නේ තමන්ගේ මවගේ අභාවයෙන් පසු පියාගේ දෙවෙනි කසාදයේ බිරිඳගේ පහර දිම් හා අඩන්තේට්ටම් හේතුවෙනි.රේඛා ඇයගෙන් තතු විමසිමේදි ඇය පවසන්නේ එයයි එහිදී රේඛා ද පවසන්නේ ඇයත් මෙම පුංචී දියණිය වන නන්දනී ලෙස නිවසින් පැන ආ බවය.එය ⁣එසේනම් මව්පිය සෙනෙහස හොරැ ගෙනගිය මොහොතක සමාජයේ නපුරැ දෑස්වල බැල්ම ඔවුන් දෙදෙනාට ලැබුණු බව හඟවයි.
                                     නන්දනී රේඛාට අමතන්නේ අක්කා කියාය.සැබවින්ම මෙහිදි ⁣අමරසිරි මාස්ටර්ගේ හඬින් සුගායනය වන ගීතයක කාණ්ඩයක්ද සිහිපත් වේ. "ළැම පමණක් ළොවට පෙනෙන ළය නොපෙ⁣නෙන ළඳුනේ "......සැබවින්ම රේඛාගේ ළය තුළින් ඉස්මතු වන්නේ නන්දනී කෙරෙහි ඇය දක්වන යම් ළෙන්ගතුකමක් හා දරැවෙක් යන සිතුවිලි සමුදායයි.ඇය එම දරැවා නැවත භාර දෙන්නට සිතුවද ඇයට ඒ වෙනුවෙන් හිස් අවකාශයක් පමණක් ලැබෙන්නේ තැරව්කරැවාගේ මැදිහත්වීම හා ඇනුම් බැනුම් නිසාය.කාත් කවුරුත් නොමැති වු රේඛා තුළ නන්දනී කෙරෙහි ඇතිවන්නේ දරැවෙක් යන හැඟිම සහ සහෝදර බැඳිමකි.නමුත් ඒ හදවතේ සිතුවම කෙතරම් මානූෂීය ද කියා ඔවුන්ව බිළිගෙන සිටි අමානුෂිය සමාජය දැනගෙන සිටියේ නැත.කෙසේ නමුත් අවසානයේ එම බාල වයස්කාර දරැවාව රේඛාට සිදුවන්නේ සහ භාර කරන්නේ එම සමාජය විසින් නන්දනීවද රේඛාට සිදු වූ ඉරණම් ගමනට රැගෙන යාමටය. විසිතුරු සළුපිළි  ඔස්සේ දරැවාව හැඩවැඩ කරන රේඛාගේ හදවත ගැටෙන්නේ දෙඟිඩියාවකය.අැයට ඉන් එහාට කරකියා ගන්න කිසිවක් නැත්තේ ඇයටද අත් වී තිබෙන ඉරණම් භුමිකාව නිසාවෙනි....
                                            අදාළ නිවසට නන්දනීව කැටුව යන රේඛා පහළ මාළයේ  අසුන්ගෙන වික්ෂිප්ත වූ මනසින් සිටින අතර එම විශාල නිවසේ ලස්සන බලන්න රැගෙන යන විලාසයෙන් එම ධනවත් ව්‍යාපාරිකයා දරැවා ඉහළ මාළයේ ඔහුගේ නිදන කාමරයට රැගෙන යයි....හදිසියේ දරැවා හයියෙන් කෑ ගසන හඬ ඇසී රේඛා ක්ෂණිකව එම කාමරයට ඇතුළු වන විට එම නිවැසියා අත දරා සිටින බ්ලේඩි එකක අධාරයෙන් රේඛාගේ මුහුණට ගසයි .එවිට ඇයගේ මුහුණ කැපුකමකට ලක් වී එක වර බිම ඇඳගෙන වැටුණද නන්දනීව බේරගන්න නැවතත් ඇය නිවැසියා සමඟ පොර බැඳ දරැවා ගලවාගෙන පලා යන්න සැරසෙන විට ඉතාම අවසනාවන්ත ලෙස කුඩා දරැවා වන නන්දනීගේ ඉක්මන් ක්‍රියාකාරීත්වය තුළ නිවැසියා පිහි ඇනුමකට ලක් වෙයි.ඉන් අනතුරුව මොවුන් දෙදෙනා මුහුණ පාන තත්ත්වය ඉතාම කම්පනය දනවන හා මෙම සමාජ විවරණය පිළිබඳ ප්‍රේක්ෂක හදවත ඇඳ බැඳ ගනීයි. රේඛා විසින් රැගෙන ආ දරැවා නැවත පැය 24ක් යන්නට මත්තෙන් ආපසු ආදාළ තැනට භාර දිය යුතුය.ඔවුන්ගෙන් මෙන්ම රේඛාට මෙි සඳහා නැඹුරු කළ පුද්ගලයාගෙන්ද ගැලවීමක් නැත.එම පිරිමින් අතරට තවත් පිරිම්න් එකතුවන ⁣විට තවත් අයෙක් මෙම තත්ත්වය තුළින් සුරැට්ටු පත්තු කරනවාට වඩා එ් ගින්දරෙන් වතුර රත් කර කිරි තේ බොන්න සැලසුම් සකසයි.නමුත් අවසානයේ එම සැලසුම තුළ ඔහුගේ ජීවිතය පවා ගැලවෙන්නේ වාසනාවකටය.

                    කෙසේ නමුත් රේඛාට ඇයගේ ජීවිතය බේරගන්නවාට වඩා අවශ්‍ය වන්නේ අවසානයේ කුඩා දරැවෙකු ⁣වන නන්දනීගේ ජීවිතය බේරා ගැනීමටය.ඇය ඇයගේ ජීවීතය පවා ඒ වෙනුවෙන් පුද දී නන්දනීගේ ජීවිතය යඳින්නේ මවක් මෙන් විලාප නඟිමිනි.මෙම සිනමා සිතුවම තුළ මා දුටු ඉතාම විශිෂ්ටතම සංකේතය ලෙස දුටුවේ ඉණිමඟකි.වියවුල් මනසින් නිදාගෙන හිඳ එකවර සිහිනෙන් බියපත්ව අවදිවන රේඛා සිහිනෙන් දකින්නේ ඇය ඇවිඳ යන මාර්ගය දෙපස අන්ධකාර රාත්‍රීයක් වුවත් යම් දුරකින් පෙනෙන ඉණිමඟකි .නමුත් ඉණිමඟ ආසන්නයට ළං වෙද්දී ඇය දකින්නේ ඇයව මරන්න හා ඇයව ඩැහැ ගන්න සිටින ඇය ජිවත්වන සමාජයේ චරිත ඇය වටා සිටින බවයි.මෙය වචන ප්‍රකෝටී ගණනක්  සවිස්තරාත්මක දක්වන ලද සංකේතයකි.මන්ද මිනිස් සමාජයේ නරකම තැනට වැටෙන ස්ත්‍රී හෝ පුරැෂයෙක්ට එම තත්ත්වයෙන් මිඳෙන්න මාර්ගයක් ලැබුණද සොයා ගත්තද ඔවුන් නිසා යැපෙන මුදල් සූරාගන්න සමාජය ඔවුන්ට ඔවුන්ගෙන් මිඳී  ජීවිතය වෙනස් කරගන්න ඉඩ දෙනවාට වඩා කරන්නේ වනසන්නට පාර කැපීමය.

                කෙසේ නමුත් මොවුන් දෙදෙනාගේ ඉරණම යම් ආකාරයක සුභවාදී කොට සිනමා සිතුවම නිර්මාණකරැවා විසින් නිමා කරන්නේ ප්‍රේක්ෂක සංතානයට ඉන් ඔබ්බට බොහෝ දෑ හිතන්නට නිගමනය කරන්නට ඉඩකඩ ඉතිරි කොටය.කුඩා දරැවා ඉල්ලුම් කළ ධනවතාගේ පුතු විසින් අවසානයේ රේඛාව සහ නන්දනීව ඉතා ඉක්මනින් අවශ්‍ය බව පවසන්නේ රේඛාව එම දරැවාව මෙම වෘත්තීය වෙත යොමුකරන්න බල කළ පුද්ගලයාටය.කෙසේ නමුත් අවසානයේ රේඛාගේ සහ නන්දනීගේ ජීවිත ගැලවෙන්නේ එම ධනවතාගේ පුතණුවන්ගේ මැදිහත්වීම හා ක්‍රියාත්මක වීම තුළය.ප්‍රේක්ෂකයා පවා සිතන්නේ නන්දනීගේ හා රේඛාගේ ජීවිතය නිමා වන බවය.නමුත් ගණිකා වෘත්තී⁣යේ ඔවුන්ව යෙදවූ සියලුම දෙනාගේ ජීවීත තොර වී අවසානයේ රේඛාගේ සහ නන්දනීගේ ජීවිතය ගැලවෙයි.අවසානයේ මිය ගිය ධනවතාගේ පුතු විසින් ඔහුගේ ම රියදුරෙක් හට පවසන්නේ රේඛාට සහ නන්දනී ට අවශ්‍ය තැනට රැගෙන යන ලෙසය....එහිදී එකම මාවතක දෙපසට යනෙන ධනවතාගේ පුතු හා රේඛා රිය කවුළුවෙන් නැවතත් ⁣මුහුණට මුහුණ ගැටෙන විට ඔහු විසින් රේඛාට මුදල් ප්‍රමාණයක් ලබා දෙන්නේ "හැමදේම මුදලනේ "යන්න වශයෙන් හා එම මුදල් තබාගන්නා ලෙසත් දරැවාව පරිස්සම් කරගන්නා ලෙසත් පවසා ⁣ඔවුන්ගේ ගමන් මඟ දෙමාර්ගයක් ඔස්සේ ඉදිරියට ඇඳෙයි.
                                             ගම්බද පරිසරයක බස් රථයක නිදිබර වෙහෙසින් සිටින රේඛා නින්දක පසුවෙයි.නන්දනී රිය කවුළුවෙන් අවට බලන ගමන් රේඛා අවධිකර ඒ කුමක්ද සිදුවූයේ කියා කරැණු විමසයි.රේඛා පවසන්නේ කිසිවක් නොවුණු විදියට අමතක කරන්න කියාය.එනම් සියල්ලම අමතක කර ඇයට ලැබුණු මුදලින් ජිවිතේ ගෙවන ගමන් යම් ජීවීකාවක ඈත දුර පළාතකට ගොස් නන්දනීවද රැක බලාගෙන ඇය ජීවිතය වෙනස් කරගන්න ඇති...වෙනස් කරගත්තාද යන බොහෝ දේ ප්‍රෙක්ෂකයාට භාර කර ඇත.මෙහිදි අවසානයේ මිය ගිය ධනවතාගේ පුතුට මතක්වන අතීත සිද්ධි සමුදායක් දිස් වේ.එනම් තම පියා තමන් පාසල් යන කුඩා අවධියේ වයස 15-16ක කාලය තුළ තමන්ගේ යෙහෙළියක් පවා තම පියාණන් විසින් කෙලෙසා අවසානයේ ඇය මරණයට පත් වූ අඳුරු මතකයකි.තම පියා ඝාතනය වූවද ඒ වෙනුවෙන් කුඩා දරැවාට හා රේඛාගේ ජීවිතයට හානියක් නොකර ඔවුන්ගේ ජීවිත ගලවා ඔවුන්ට මෙම ඉරණම අත්කර දුන් හා තමා කුඩා අවධියේ තමන්ගේ යෙහෙළියට එවැන්නක් සිදුවෙන තෙක් බලා සිටි සියලුම දෙනාවද ඔහු ඝාතනය කරවිය. 
                    සැබවින්ම එම ඝාතනයන් නිර්මාණය තුළදි මිනිස් ජීවිත ලෙස ඝාතනය වූවද රචකයා සමාජ ගර්භයේ දක්වන්නේ මෙම පහත් තත්ත්වය නිර්මාණය කළ වරද මරා දමා එහි නියැලී දුක් විඳි වුවන්ට සමාජයේ වෙනම පරිසරයක් ජිවීත ගමනක් අළුත් දැක්මක් ලබා දී එම කටුක අන්ධකාරය සමාජයෙන් පළවා යා යුතු බව නොවේද.........ඔබටත් මෙය මීට වඩා හොඳින් තවත් ඉසව් ඔස්සේ රසවින්දනය කරන්න භාර කරමී. You tube ඔස්සේ කිහිප සැරයක් මෙය නැරඹුවද භාෂාවේ නුහුර හා නොදැනීම නිසා යම් ඉසව් වටහාගන්න අපොහොසත් වූ අතර මේ පිළිබඳ තව තව සෙවීමේදි රේඛාගේ චරිතයට පණ පෙවූ පූජා උමාශංකර් විසින් ⁣එම රංගනයට හොඳම නිළියට හිමි සම්මානයද දිනා ඇති අතර එක්තරා රෑපවාහිනි සාකච්ඡාවකදි ඇය පවසන්නේ සිංහල හඬ කවලා හෝ සිංහල උපසිරස හරහා හෝ මේ සිතුවම ලංකාවේ රසිකයන්ට ලබා දෙන්න කටයුතු කරන බවය. එම හේතුව නිසාම  සිංහලෙන් හඬ කවා ඇති නිර්මාණයද රස විඳින්නට අවස්ථාව ලැබුණි.
                         මෙම නිර්මාණය පිළිබඳ තව තවත් කරැණු සෙවිමේදි  "පූජා උමාශංකර්" විසින් පවසන්නේ තම මෑණියන් තම පවුලේ අය විරෝධය පල කල බවය.නමුත් ඇය ඉතා සන්සුන්ව සියලුම දෙනාට කරැණු පහදා දී ඇත්තේ නැහැ මේ වගේ චරිත ගැන හා සමාජය ගැනත් කවුරැ හරි දෙයක් කරලා පෙන්වන්න ඕනී මෙය රංගනයක් පමණයි නැත්නම් මෙම සමාජයේ යථා තත්ත්වය කවුද අම්මා කියන්න ඉන්නේ යනුවෙනි .සැබවින්ම එය වටිනා කාර්ය භාර්යකි.මෙහි කිසිඳු අසභ්‍ය දර්ශණ මාත්‍රයක් නැත සභ්‍යත්වයකින් යුතුව සමාජය විවරණය කොට ඇත.නිර්මාණ කරැවා යනු කුමන ඉසව්වක් වුවද අනුන්ගේ වුවද තමන්ගේ කොටගෙන සංවේදීව රසියකාගේ පරිකල්පන බුද්ධියට ගෝචර කරමින් නිර්මාණය කරන්න්ට නිර්මාණය වූ සමාජයේ තවත් මානව කොට්ඨාසයකි.

ස්තුතිය ...
✍️ සුරවීර ආරච්චිගේ කමණි.......

අළු බඳුන ටෙලි නාට්‍යය

#කාලයක් #ගත #වුණත් #නැවත #නැවත #බලන්න #හිතෙන #ටෙලි නාට්‍යයක #රසයක් #ඔයාලගේ  #හිත්වලත් #ඇති.......

          අන්න ඒ වගේ නාට්‍යයක් ගැන තමයි මෙම සටහන විවර වෙන්නේ . එනම් "අළු බඳුන " ටෙලි නාට්‍ය   තුළ තිබෙන සුන්දරත්වය පිළිබඳ මෙච්චර කාලයක් ගිහිල්ලත් අකුරු ටිකක් එකතු කරන්න හිතුණේ youtube එක හරහා අදටත් සැරෙන් සැරේ මම එය නරඹන නිසාමයි. මගේ එම නාට්‍ය පිළිබඳ උනන්දුව කොපමණද කිව්වොත් මගේ යහළුවන් කිහිප දෙනෙක්ටද එම ආශාව දැනටමත් බෝ වී හමාරය. සමහර කොටස් සොයාගන්නට නැති වුවද දැඩි උනන්දුවකින් යුක්තව අදටත් සැරෙන් සැරේ අහුවෙන අහුවෙන කොටසක් පවා නෑර නැවත නැවත නරඹන්නේද මීට පෙර කවරදාවත් එය නරඹා නැති අයෙක් ලෙසය. එහි පසුබිම් ගීතයද ඉතාම සුන්දර නාද රටාවකින් හා ප්‍රවීණ ගායන ශිල්පි සමන් ලෙනින් මහතාගෙන් සහ ප්‍රවිණ ගායන ශිල්පිණි ඉන්දිකා උපමාලි මහත්මියගේ සුසංයෝගයෙන් ගැයෙන්නේ අපූරත්වයකිනි. නැවත නැවතත් අසන්නට තරම් හදවත වේළාගෙන ඇත. 

                    එමෙන්ම කතරගම ප්‍රදේශය වටා තිබෙන දුෂ්කර කටුක පරිසරය මේ සඳහා  රෑපගත කිරීම් කටයුතු සිදු වී ඇත.එම පරිසරය තුළ පවතින කාශ්ටක දුෂ්කර බවද මෙම නාට්‍ය තුළට අපූරත්වයක් මිශ්‍ර වී තව තවත් නිර්මාණය තුළ පවතින රසය ප්‍රේක්ෂක හදවත් තුළ තීව්‍ර වී ඇත.මම විදේශගතව සිටින හෙයින් එය නැරඹිමෙන් හා එම ගැමි  පරිසරය දැකීමෙන් ලබන්නේ විශාල අශ්වාදයක් සහ සුන්දරත්වයකි. එම ගැමි සමාජය වටා පවතින දුක්බර ජීවීතය කෙබඳුද යන්නත් එම ප්‍රදේශ තුළ වෙසෙන දූ දරුවන්ගේ අධ්‍යාපනය සහ ඔවුන්ගේ අරමුණු ඉලක්ක කොයිතරම් දිළිඳු හා අහිංසක අසරණ බලාපොරොත්තු මැද හෙට දවස වෙනුවෙන් හදවතේ ගැහෙන රාවය විනිවිද දනවන නිර්මාණයක් බව කිව හැකිය. 

              එම නාට්‍ය හා පරිසරය තුළ හමුවන මෙම නාට්‍යයේ ප්‍රධාන කතා නායිකාව වන "සුද්දි" ගේ චරිතයට පණ පොවන ප්‍රවිණ රංගන ශිල්පිණියක් හා එහි නිෂ්පාදකවරිය වන ආශා එදිරිසිංහ දක්ෂ රංගන ශිල්පිණියක් සේම දක්ෂ නිෂ්පාදනවරියක්ද බව මොනවට තහවුරු කරන සුන්දර නිර්මාණයක් බව අදටත් රසික හදවත්වලට මෙම නිර්මාණය කෙතරම් ආශක්තද යන්න තුළින් දැනගත හැකිය. සුද්දීගේ චරිතය වටා පවතින දිළිඳු ජීවන රටාව ඉතාම සංයමයකින් හා ඉතාම අව්‍යාජ සහ ඉහළ තාත්වික අගයකින් යුක්තව ඇය  එම චරිතය තුළ ජීවත්වෙමින් හසුරවන ආකාරය තුළ ඇය කෙතරම් ඉහළ සාධාරණයක් එම චරිතයට කර ඇතිද යන්න මනාවට රසික හදවත්වල අදටත් සනිටුහන් වීම නොරහසකි. 

          එදිනෙදා ජීවීතය හා ගැටෙන ජීවන රටාවේ අඩුපාඩු පිරිමසා ගැනීම වෙනුවෙන් "සුද්දී" යනු වැවේ පිපෙන නෙළුම් මල් කඩා එයින්ද යම් අදායමක් ලබා ගන්නට ජීවීතය හා හැප්පෙන අහිංසක සුන්දර ගැමි ජීවන රටාව පිළිඹිබු කරන යුවතියකි. ඇය එම වැවේ ඔරු පඳින ආකාරයද ඉතාම ස්වාභාවික ලෙස රංගනය තුළ මොනවට ජනිත කරවයි. ඉතාම සියුම් චලන පවා මැනවින් ඇය පිළිඹිබු කිරීම තුළ අදටත් මෙම නිර්මාණයෙහි රසය කොපමණ පරණ වුවත් නැවුම් බවක් ජනිත කරවන්නේ නිරාසයකිනි. මා විශාල විචාර දැනුමක් තිබෙන අයෙක් නොවෙමී. නමුත් අදටත් එම නාට්‍ය නැරඹිම තුළ හදවතට දනවන වින්දනය හේතුකොටගෙනම මෙම සටහන තබන්නට සිතුවා පමණකි. මෙම සටහන තුළින් එම සුන්දර නිර්මාණයට 100% ක් සාධාරණයක් මා හට කරන්නට නොහැකි වුවත් එහි රසයට අකුරකින් හෝ අසාධාරණයක් නොකරන බව හඟිමී.

         සියලුම චරිත ඉතාමත් තාත්වික ලෙස ඉහළ ගුණාත්මක බවකින් යුක්තව රංගනයේ යෙදීම තුළ විටෙක ඔවුන්ගේ සියුම් අංග චලනයකින් පවා දනවන සමාන්‍ය මිනිස් හැසිරිම් රටා හේතුවෙන් එහි රසය ඇත්තටම අපූරත්වයකින් පිරී පවතී. නාට්‍ය තුළ මම වැඩිපුර ආසම චරිතය වන්නේ "සුද්දී" ගේ චරිතයයි. ඇය එක දර්ශන අවස්ථාවක පොල් අතු කිහිපයක් ඇඳගෙන ඇවිත් ඔවුන් ජීවත්වන නිවසේ ගේමුදලට එකවරම අතහැර දමයි. එය ඉතාම සියුම් අවස්ථාවක් වුවමුත් ඔබට එය නැරඹිමෙන් දැකිය හැකියි එම සියුම් චලනය පවා ඇය කෙතරම් සංයමකින් ස්පර්ශ කරමින් රංගනයේ යෙදෙනවාද යන්න .එමෙන්ම තවත් අවස්ථාවක ඇය එම පරිසරය තුළ වෙසෙන ඇතෙකුට බිය වී නිවස වෙතට දුවගෙන එන ආකාරය තුළ ඇයගේ මවගේ හදවත තුළ ජනිත කරවන බිය ජනක අවස්ථාව ඉතාම තීව්‍ර ලෙස රංගනය තුළ මැනවින් සනිටුහන් කරන්නේ ප්‍රේක්ෂක හදවත තව තවත් එම නිර්මාණය තුළට ඇඳ බැඳ තබාගෙනය. එමෙන්ම ඇය සිහිනෙන් බියපත්වන දර්ශන කිහිපයක්ද දකින්නට ඇත. එම අවස්ථාවන්ද තිගැස්සී අවදිවන බියපත් විලාශය ඉතාම ස්වාභාවික ලෙස මුහුණේ සහ අංග චලන ඔස්සේ ඇය මැනවින් විචිත්‍ර ලෙස රංගනය තුළ සනිටුහන් කර ඇත. 

             කාශ්ටක පො⁣ළව සමඟ ගැවසෙන ජන ජීවනය ගෙවෙන්නේ ගොවිතැන් කටයුතු සමඟය. සුද්දීගේ චරිතය හේන් ගොවිතැන හා ගැටෙන ආකාරය තුළ බොහෝ විට දැනෙන්නේ චරිතයකට පණ පොවනවාට වඩා සැබෑම චරිතයක් එහි ජීවමානව නිරෑපිත කරවන ආකාරයකි.ආත්මීය බැඳිමක් ඔස්සේ ගලාගෙන යන වෙනස්ම ආදර කතාවක් තුළ "සුද්දී" ගේ චරිතය ස්පර්ශ කරවන ආකාරය ඉතාම චමත්කාර ජනකය.යුවතියක් ප්‍රේමය තුළදි  බොහෝ දුරට බලාපොරොත්තු වන්නේ තමන්ට ඇහුම්කන්දෙන හා අවධානය සැම විටම ලබාදෙන බැඳිමකටය. මෙහිදී සුද්දීට එවන් අයෙක් මුහුණ ගැසුණද ඔහු මිහිමතට අයත් කෙනෙක් නොවන වග ඇය දැනගන්නේ බොහෝ කල් ගොස්ය. නමුත් ඇය තුළ පවතින්නේ නිරාමිස ප්‍රේමයකි .ඇඳබැඳ තබාගැනීමකට වඩා ඈතින් හිඳ හෝ ඔහු වෙනුවෙන් ප්‍රේමය කැප කර බලා හිඳින්නටය.ඇය තුළ යම් ප්‍රේමණීය හැඟුම් ඉතාම කුළුඳුල් ලෙසත් නිර්ව්‍යාජ ලෙසත්  ජනිත වන ආකාරය මුහුණෙන් සහ ඇස්වලින් ලියා තබන බැල්ම ඔස්සේ සුද්දීගේ චරිතය ඉතාම සුන්දර ගැමී අහිංසක චරිතයක් චමත්කාර ලෙස දකින්නට පුළුවන.

         සුද්දී යම් කරුණුකාරණා තම මවගෙන් වසන් කරන්නට ගන්නාවූ වෑයමද යම් අවස්ථාවල ඇයට පමණක් පෙනෙන රණමල්ගේ රුව දැකීමෙන් නිවසේ කඬුල්ල වෙත යාම තුළ මවගේ හඬ ඇසිමෙන් සුද්දී තුළ හටගන්නා තැති ගැන්ම චකිතය ඉතාම සියුම් අවස්ථාවන් වුවත් එම පුංචී තැන් පවා ඉතාම සමාන්‍ය මිනිස් චර්යා රටාවක් බවට පරිවර්තනය කරමින් ඇය එම චරිතය උද්දීපනය කරන ආකාරය ඉතාම සුන්දරය.

        මෙම නාට්‍ය කිසිවෙකුට අමතකයැයි නොසිතමී.එම නිසාම සම්පුර්ණ නාට්‍ය පිළිබඳව ගැඹුරින් සටහන් නොකරමී. නමුත් එම නාට්‍ය කෙතරම් හදවතට සමීප වූවාද යන්න පමණක් මේ ඔස්සේ සටහන් කරන්නේ තව තවත් එවැනි නිර්මාණ දකින්නට හදවත තුළ ඇති ආශාව හේතුවෙනි. මෙම නාට්‍ය තුළද බෞද්ධ දර්ශනය තුළ තිබෙන යම් ගැඹුරු කොටස් මැනවින් ගැබ්කර ඇත. මිනිස් හදවතේ ඉපදෙන හොඳ හා නරක අදහස් අනුව හටගන්නා කර්මය තුළ ඔවුන්නොවුන්ට ගෙවන්නට සිදුවන විපාකයද උද්දීපනය කරවයි.එමෙන්ම මෙම නාට්‍ය අවසානය කරා ළං වන විට සිරිසේන මහත්මයා පිළිබඳ මෙන්ම ජන්තු පිළිබඳව රසික හදවත්වල මුලින් හටගත් හැඟුම් සමුදාය ක්‍රමක් ක්‍රමයෙන් යටපත් කරමින් ජීවීතය යනු මෙබඳු ආකාරයක තැනක් යන්නත් එම ජීවීතය තුළ ජීවත්වීම තුළ අප කළ යුතු දෑ කුමක්ද යන්නත් නොකළ යුතු දේ කුමක්ද යන්නත් ප්‍රේක්ෂක හදවත්වලට ඉතාම සංයමයකින් මෙන්ම මානූෂීය හැඟුම් ඔස්සේ හඟවයි. කලාව තුළින් රසික සංතානයට ජීවත්වීමේ කලාව කියා දෙන්නේනම් එය ආනන්දනීය ජනක බව ඔස්සේ ප්‍රඥාගෝචරයට බද්ධ කරවන්නකි. මෙම නිර්මාණයද එවන් සුන්දර වූ නිර්මාණයක් බව අවිවාදයෙන් කිව හැකිය . 

ස්තුතියි ,
සටහන  සුරවීර ආරච්චිගේ කමණි .

ජීවීතයට සිතුවිල්ලක්

                 🌿🍁💕🌱❤🤲🤲🤲🍁🍁🍁 ජීවීතයට වදනක්                      _______________________________________________                   ...