Thursday, November 19, 2020

Vidiyum munn (விடியும் முன்)-හිරැ උදාවට ප්‍රථම

Vidiyum munn (விடியும் முன்)-හිරැ උදාවට ප්‍රථම
_________________________________________________

            29.11.2013 දින ප්‍රේක්ෂකකයන් වෙත ඉදිරිපත් කරන Vidiyum munn (விடியும் முன்)-හිරැ උදාවට ප්‍රථම දමිළ සිනමා සිතුවම අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Balaji K.Kumar මහතා විසිනි.මෙම සිනමාව සිතුවම ගැන කතා කරද්දී මම ප්‍රධානම චරිත දෙක ඔස්සේ කතා කරන්නෙමී.මන්ද කුමන හෝ පුද්ගලයෙකුට මෙම සිනමා සිතුවම නරඹන්නට සිතුණොත් එම සිතුවිල්ලට බද්ධ වන කැමැත්ත හා ආසාවට හානියක් නොවන්නටය.මෙහි  ප්‍රධානම චරිතය වන රේඛාගේ චරිතයට පණ පොවන්නේ  Pooja G.Umashankar  දකුණු ඉන්දීය හා ශ්‍රී ලාංකීය සිනමාව ජයගත් දක්ෂ නිළියයි.ඇය වටා ගෙතෙන කතාවේ ළමා චරිතයට වන නන්දනීගේ චරිතයට පණ පොවන්නේ Malavika Manikuttan වන කුඩා දියණියයි. ඉන්දීය සමාජය තුළ බොහෝ සිනමා ඔස්සේ බොහෝ විට මෙම සමාජ විවරණය හුවා දැක්වීම දැකිය හැකිය.මෙය සමාජයේ පවතින හා සිදුවෙමින් පවතින නොනවතින ගැටළුවක් හා ඛේදනීය සිද්ධියකි.මුළු මහත් ලෝකයේ මානව සංහතියටම ලබා දෙන පණිවිඩය තුළ  අපූරත්වය ඉතා මැනවින් මුහු කළ නිර්මාණයකි.

                             Vidiyum munn (விடியும் முன்)-හිරැ උදාවට ප්‍රථම මේ තුළින් රචකයා සමාජය නමැති වේදිකාවේ තිරපටය විවෘත කොට සමාජයේ දෑසද හදවතද මනසද එකවර විවර කරන්න ගත් වෑයමක් කිවිවොත් එය නිවැරදිය. මේ තුළ කතිකාවට නැඹුරු වෙන්නේ ගණිකා වෘත්තීයේ යෙදෙන කාන්තා චරිතයක් හා එම චරිතයට අනපේක්ෂිත ලෙස සමාජ පෙළඹවීම හා සමාජ දැක්ම තුළ ඔවුන්ට තිබෙන ලේබල්වීමේ හිමිකම හේතුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් මෙම සමාජයේම ජිවත්වන තවත් මානව වර්ගයා විසින්ම අමු අමුවේ දුෂණය කරද්දී කෙළසද්දී තැරව්කරුවෝ අතින් අතට යද්දී කාගේ වුවමනාවකට කාසියේ බලයට වාසිය ලැබෙන මිනිස්සුන්ගේ පෙළඹවීම මතම ළමා ගණිකාවක්ද මෙම කාන්තා ගණිකාවට සමාජයේ පෙළඹවීම උදෙසා සපයා දීමට කරන්නාවූ බල කිරීම හා පෙළඹවීම තුළ මෙම කාන්තා චරිත ය එනම් රේඛා සහ ළමා චරිතය වන නන්දනී මුහුණ පාන ඉතාම අමිහිරි වූ කටුක අත්දැකිම් සමුදායකි.
                                        රේඛා යනු ඉහළ පෙළේ ධනවතුන් වෙනුවෙන් කාලයක් තම ආත්මය කැප කළ යුවතියකි.ඇය කරන්නේ හරි දෙයක්දෝ වැරදි දෙයක්දෝ කියා නොදන්නා අවධියක තම නිවසින් පැන යාම නිසා අවසානයේ අවාසනාවන්ත අයුරින් රැකවරණය සේ ලැබෙන්නේ සමාජයේ පවතින ඉතාම අන්තම පහත්ම තැනකිනි.හරි වැරදි නොතේරෙන අවධියක තමන් වැටෙන අන්තම තත්ත්වය ගැන වයසින් වැඩෙත්ම වැටහුණද ආපසු හැරෙන්න පාර සොයාගන්න හරි ළිං කටෙන්ම ගොඩ එන්න හරි ඔවුන්ට කාලය ලබා දෙන විසඳුම් කාලයම පමණක් විටෙක තිරණය කරයි.මන්ද මේ සමාජය එතරම් අහිංසක නොවන නිසාය.නමුත් ඇය නිවසින් පැන ගිය හරි හේතුවක් මේ තුළ දකින්නට නොලැබෙයි.එය ප්‍රෙක්ෂකයාට සිතන්නට භාර දී නිර්මාණකරැවා නිර්මාණය දියත් කර ඇත.ඉහළ ගණන්වලට විකුණුනු ඇයව තවත් වෙළෙන්දෙක් විසින් යම් ආකාරයකින්  ඩැහැගෙන ඔහුගේ මුදල් තර කරගන්න වෑයම් කර ඇති බව මෙය නැරඹිමේදි අවබෝධ වේ.
                                                   මෙය ආරම්භයෙදීම යන දෙබසයෙහි සිංහල තේරැම වන්නේ "රේඛා ඔයා ගෙවල් මාරැ කලා ,බිස්නස් කරන තැන් මාරැ කලා ,නම්බර්ස් මාරැ කලා ඒත් මම ඔයාව හොයාගෙන ආවා යන " දෙබසයි .මෙය රේඛා හට පවසන්නේ ඇයගේ කාන්තා ශරීරයේ වෙළඳාම  දෙවෙනි වතාවට යොදාගත් පුද්ගලයා විසිනි.මේ තුළින් රසිකයාට ඉතාම තිව්‍ර ලෙස ලබා දෙන පණිවිඩය වන්නේ මෙවැනි කාන්තාවන් හට මෙවැනි වෙළෙන්දන්ගෙන් ගැලවීමක් නොමැති බවයි.ඔවුන් ඉව කර කර ඔවුන් පසු පසම ඔවුන්ගේ අඳුරු මතකයන් සමඟ සෙවනැල්ල මෙන් හඹා එන බවය.කෙසේ නමුත් රේඛා යන චරිතය තවම එම අඳුරු සමාජයෙන් ගැලවී නැත. ඇය ඇයව විකුණාගෙන කන ⁣වෙළෙන්දන්ගෙන් වෙන් වීද හුදකලාවේ වුවද නිරත වූයේ එම ගණිකා වෘත්තීය තුළමය.පරක් තෙරෙක් අවබෝධයක් නොමැති අවධියක ඇය වැටුණු නරකාදියේ ඇයට ගඳ සුවඳක් තවම අවබෝධ වී නොමැත.නමුත් ඇය පසු පස පැමිණෙන වෙළෙන්දන් හඳුනන්නේ ඒ නරකාදීය තුළ ටික ටික තරවන ඔවුන්ගේ පසුම්බියේ මුදල්වල සුවඳ පමණි. රේඛාව සොයා ඔහු පැමිණෙන්නේ ඇයට ආදරයකට හෝ දුක සැප විමසන්න නොවෙයි.

                                            තමන්ගේ ප්‍රධාන පෙළේ ධනවතකුගේ ඉල්ලුමට සැපයුම ලබා දීම නිසා ලැබෙන මුදල්වල වටිනාකම හේතුවෙන් ඔහුට අවශ්‍ය එම වෙළඳ භාණ්ඩය කෙසේ හෝ එම ධනවතාට ලබා දී ලැබෙන  මුදලේ වටිනාකම පිළිබඳ පමණක් සිතීමට හා සැහීමකට පමණි.එම අරමුණ වෙනුවෙන් ඔහු රේඛාව සොයාගෙන පැමිණෙයි.ඔහු පවසන ආකාරයට එම ධනවතාගේ රසය වෙනස්ය.සැබවින්ම මෙම නිර්මාණය නැරඹීම තුළ ඔබට මිනිසුන්ගේ රසය විඳිමක්ද විඳවිමක්දෝ කියා හැඟෙයි..කිසිඳු අසභ්‍ය දර්ශණ හැඩ තල නැතත් සමාජයේ නිරැවතෙහි හැඩතල මොනවට ග්‍රහණය කර ඇත .ඔහු රේඛාට පවසන්නේ අවුරැදු 14-15ක ගැහැණු ළමයෙක් එම ධනවතාගේ පවස නිවන්නට අවශ්‍ය බවය.රේඛා පෙරළා ප්‍රශ්න කරන්නේ "ඇයි දරැකමට හදාගන්න ටද කියාය........." මෙය සමාජයට ගැසු ප්‍රබල පහරකි. ළමා සිරැරකින් තම කාමුක සුවය හොයන මිනිස් සංහතියට ගැසූ වාග් ප්‍රහාරයකි .එය නරඹද්දී හාස්‍යජනක බව එම අවස්ථාවේ දැණුනද එය අපූරු ප්‍රශ්න කිරීමකි.
                                    මෙම නිර්මාණය සහමුලින්ම මම නොලියමී.මන්ද ඔබ ඔබගේ මනසින් රස විඳින මොහොතක ඔබේ මනෝභාවයට ඔබගේම රසයක් දැනීම අවශ්‍යය නිර්මාණයකට ඔබගේම කියවීමක් අවශ්‍ය වන හෙයිනි.රේඛා සැබවින්ම සමාජයේ පහත්ම වෘත්තීය වන ගණිකා වෘත්තීයේ උන්නත් ඇය කුඩා දරැවෙක් එවැනි තැනට වැටෙනවාට කිසිසේත්ම එකඟ වන්නේ නැත.නමුත් ඇයගේ ජිවීතයේ අසරණකමද ,ඇයගේ ජිවීතයේ ඇයම ඉන්න පසුබිම තුළ ඉන්නා මිනිසුන් හා සමාජය විසින් ඇයට කරන පෙළඹවීම හා සියල්ලම මුදලට ඔවුන්ගේ අංශු මාත්‍රය පවා විකිණෙන විට ඇයට ප්‍රතික්ෂේප කරන්නට තිබු ශක්තිය පවා අධෛර්යට පත් කර මෙම කුඩා දරැවෙක් සැපයිම තුළ ලැබෙන මුදල ගැන හා අනුකම්පාව හා දයාව තුළ කිසිවක් උපයාගත නොහැකි බව පවසා ඇයගේ මනස පොළඹවන අයුරින් මෙහෙවන අයුරින් මේ සමස්ත ලෝකය පුරා මෙවැනි වෙළෙන්දන් ස්ත්‍රීය හා ළමා සමාජය මේ මොහොතෙත් ඉතාම නින්දිත ලෙස විකුණමින් සිටිනවා ඇත.නමුත් දකින්නේ  කොහොමද අපේ ඇස් පවා ගණිකාවක් දෙස බලන අයුරින්ම ලෝකයක් බලද්දී ඒ ජීවීත එවැනි තත්ත්වයට පත් වූ හේතු කරැණු කාරණා වැළලී ඉස්මතු කරන්නේ හා ඉස්මතු වන්නේ ඔවුන් සිදුකරන වෘත්තී⁣යේ හා ඔවුන්ගේ ජිවීතයේ පහත් බව පමණයි.
                                                  රේඛා මෙම පහත්ම සැපයුම වෙනුවෙන් ගැහැනු දරැවෙක් සොයා ගන්නේ ඇයගේ මනසින් හට ගන්නා සිතුවිලි හා සමාජය සමඟ පොරබඳිමින් බව රේඛා වචනයෙන් නොකී බොහෝ දේ භාවමය අයුරින් මුහුණේ ඉරියව් ඔස්සේ ප්‍රේක්ෂක සංතානයට කියවන්නට ඉඩකඩ සලසා දෙයි.කෙසේ නමුත් සුන්දර හිනහාවක් හිමි බොහෝ දේ හදවතේ සඟවා සිටින අවුරැදු දහතුනක පමණ යුවතියක් රේඛාට සොයාගන්න උපකාර කිරීම කරන්නේ සහ ඇයව මේ වෙනුවෙන් මෙහෙයවනු ලබන්නේත් මෙම සමාජය විසින්ය.එම කුඩා දියණිය නිවසින් පැන මෙවැනි අනාරක්ෂිත සමාජයකට මුහුණ පාන්නේ තමන්ගේ මවගේ අභාවයෙන් පසු පියාගේ දෙවෙනි කසාදයේ බිරිඳගේ පහර දිම් හා අඩන්තේට්ටම් හේතුවෙනි.රේඛා ඇයගෙන් තතු විමසිමේදි ඇය පවසන්නේ එයයි එහිදී රේඛා ද පවසන්නේ ඇයත් මෙම පුංචී දියණිය වන නන්දනී ලෙස නිවසින් පැන ආ බවය.එය ⁣එසේනම් මව්පිය සෙනෙහස හොරැ ගෙනගිය මොහොතක සමාජයේ නපුරැ දෑස්වල බැල්ම ඔවුන් දෙදෙනාට ලැබුණු බව හඟවයි.
                                     නන්දනී රේඛාට අමතන්නේ අක්කා කියාය.සැබවින්ම මෙහිදි ⁣අමරසිරි මාස්ටර්ගේ හඬින් සුගායනය වන ගීතයක කාණ්ඩයක්ද සිහිපත් වේ. "ළැම පමණක් ළොවට පෙනෙන ළය නොපෙ⁣නෙන ළඳුනේ "......සැබවින්ම රේඛාගේ ළය තුළින් ඉස්මතු වන්නේ නන්දනී කෙරෙහි ඇය දක්වන යම් ළෙන්ගතුකමක් හා දරැවෙක් යන සිතුවිලි සමුදායයි.ඇය එම දරැවා නැවත භාර දෙන්නට සිතුවද ඇයට ඒ වෙනුවෙන් හිස් අවකාශයක් පමණක් ලැබෙන්නේ තැරව්කරැවාගේ මැදිහත්වීම හා ඇනුම් බැනුම් නිසාය.කාත් කවුරුත් නොමැති වු රේඛා තුළ නන්දනී කෙරෙහි ඇතිවන්නේ දරැවෙක් යන හැඟිම සහ සහෝදර බැඳිමකි.නමුත් ඒ හදවතේ සිතුවම කෙතරම් මානූෂීය ද කියා ඔවුන්ව බිළිගෙන සිටි අමානුෂිය සමාජය දැනගෙන සිටියේ නැත.කෙසේ නමුත් අවසානයේ එම බාල වයස්කාර දරැවාව රේඛාට සිදුවන්නේ සහ භාර කරන්නේ එම සමාජය විසින් නන්දනීවද රේඛාට සිදු වූ ඉරණම් ගමනට රැගෙන යාමටය. විසිතුරු සළුපිළි  ඔස්සේ දරැවාව හැඩවැඩ කරන රේඛාගේ හදවත ගැටෙන්නේ දෙඟිඩියාවකය.අැයට ඉන් එහාට කරකියා ගන්න කිසිවක් නැත්තේ ඇයටද අත් වී තිබෙන ඉරණම් භුමිකාව නිසාවෙනි....
                                            අදාළ නිවසට නන්දනීව කැටුව යන රේඛා පහළ මාළයේ  අසුන්ගෙන වික්ෂිප්ත වූ මනසින් සිටින අතර එම විශාල නිවසේ ලස්සන බලන්න රැගෙන යන විලාසයෙන් එම ධනවත් ව්‍යාපාරිකයා දරැවා ඉහළ මාළයේ ඔහුගේ නිදන කාමරයට රැගෙන යයි....හදිසියේ දරැවා හයියෙන් කෑ ගසන හඬ ඇසී රේඛා ක්ෂණිකව එම කාමරයට ඇතුළු වන විට එම නිවැසියා අත දරා සිටින බ්ලේඩි එකක අධාරයෙන් රේඛාගේ මුහුණට ගසයි .එවිට ඇයගේ මුහුණ කැපුකමකට ලක් වී එක වර බිම ඇඳගෙන වැටුණද නන්දනීව බේරගන්න නැවතත් ඇය නිවැසියා සමඟ පොර බැඳ දරැවා ගලවාගෙන පලා යන්න සැරසෙන විට ඉතාම අවසනාවන්ත ලෙස කුඩා දරැවා වන නන්දනීගේ ඉක්මන් ක්‍රියාකාරීත්වය තුළ නිවැසියා පිහි ඇනුමකට ලක් වෙයි.ඉන් අනතුරුව මොවුන් දෙදෙනා මුහුණ පාන තත්ත්වය ඉතාම කම්පනය දනවන හා මෙම සමාජ විවරණය පිළිබඳ ප්‍රේක්ෂක හදවත ඇඳ බැඳ ගනීයි. රේඛා විසින් රැගෙන ආ දරැවා නැවත පැය 24ක් යන්නට මත්තෙන් ආපසු ආදාළ තැනට භාර දිය යුතුය.ඔවුන්ගෙන් මෙන්ම රේඛාට මෙි සඳහා නැඹුරු කළ පුද්ගලයාගෙන්ද ගැලවීමක් නැත.එම පිරිමින් අතරට තවත් පිරිම්න් එකතුවන ⁣විට තවත් අයෙක් මෙම තත්ත්වය තුළින් සුරැට්ටු පත්තු කරනවාට වඩා එ් ගින්දරෙන් වතුර රත් කර කිරි තේ බොන්න සැලසුම් සකසයි.නමුත් අවසානයේ එම සැලසුම තුළ ඔහුගේ ජීවිතය පවා ගැලවෙන්නේ වාසනාවකටය.

                    කෙසේ නමුත් රේඛාට ඇයගේ ජීවිතය බේරගන්නවාට වඩා අවශ්‍ය වන්නේ අවසානයේ කුඩා දරැවෙකු ⁣වන නන්දනීගේ ජීවිතය බේරා ගැනීමටය.ඇය ඇයගේ ජීවීතය පවා ඒ වෙනුවෙන් පුද දී නන්දනීගේ ජීවිතය යඳින්නේ මවක් මෙන් විලාප නඟිමිනි.මෙම සිනමා සිතුවම තුළ මා දුටු ඉතාම විශිෂ්ටතම සංකේතය ලෙස දුටුවේ ඉණිමඟකි.වියවුල් මනසින් නිදාගෙන හිඳ එකවර සිහිනෙන් බියපත්ව අවදිවන රේඛා සිහිනෙන් දකින්නේ ඇය ඇවිඳ යන මාර්ගය දෙපස අන්ධකාර රාත්‍රීයක් වුවත් යම් දුරකින් පෙනෙන ඉණිමඟකි .නමුත් ඉණිමඟ ආසන්නයට ළං වෙද්දී ඇය දකින්නේ ඇයව මරන්න හා ඇයව ඩැහැ ගන්න සිටින ඇය ජිවත්වන සමාජයේ චරිත ඇය වටා සිටින බවයි.මෙය වචන ප්‍රකෝටී ගණනක්  සවිස්තරාත්මක දක්වන ලද සංකේතයකි.මන්ද මිනිස් සමාජයේ නරකම තැනට වැටෙන ස්ත්‍රී හෝ පුරැෂයෙක්ට එම තත්ත්වයෙන් මිඳෙන්න මාර්ගයක් ලැබුණද සොයා ගත්තද ඔවුන් නිසා යැපෙන මුදල් සූරාගන්න සමාජය ඔවුන්ට ඔවුන්ගෙන් මිඳී  ජීවිතය වෙනස් කරගන්න ඉඩ දෙනවාට වඩා කරන්නේ වනසන්නට පාර කැපීමය.

                කෙසේ නමුත් මොවුන් දෙදෙනාගේ ඉරණම යම් ආකාරයක සුභවාදී කොට සිනමා සිතුවම නිර්මාණකරැවා විසින් නිමා කරන්නේ ප්‍රේක්ෂක සංතානයට ඉන් ඔබ්බට බොහෝ දෑ හිතන්නට නිගමනය කරන්නට ඉඩකඩ ඉතිරි කොටය.කුඩා දරැවා ඉල්ලුම් කළ ධනවතාගේ පුතු විසින් අවසානයේ රේඛාව සහ නන්දනීව ඉතා ඉක්මනින් අවශ්‍ය බව පවසන්නේ රේඛාව එම දරැවාව මෙම වෘත්තීය වෙත යොමුකරන්න බල කළ පුද්ගලයාටය.කෙසේ නමුත් අවසානයේ රේඛාගේ සහ නන්දනීගේ ජීවිත ගැලවෙන්නේ එම ධනවතාගේ පුතණුවන්ගේ මැදිහත්වීම හා ක්‍රියාත්මක වීම තුළය.ප්‍රේක්ෂකයා පවා සිතන්නේ නන්දනීගේ හා රේඛාගේ ජීවිතය නිමා වන බවය.නමුත් ගණිකා වෘත්තී⁣යේ ඔවුන්ව යෙදවූ සියලුම දෙනාගේ ජීවීත තොර වී අවසානයේ රේඛාගේ සහ නන්දනීගේ ජීවිතය ගැලවෙයි.අවසානයේ මිය ගිය ධනවතාගේ පුතු විසින් ඔහුගේ ම රියදුරෙක් හට පවසන්නේ රේඛාට සහ නන්දනී ට අවශ්‍ය තැනට රැගෙන යන ලෙසය....එහිදී එකම මාවතක දෙපසට යනෙන ධනවතාගේ පුතු හා රේඛා රිය කවුළුවෙන් නැවතත් ⁣මුහුණට මුහුණ ගැටෙන විට ඔහු විසින් රේඛාට මුදල් ප්‍රමාණයක් ලබා දෙන්නේ "හැමදේම මුදලනේ "යන්න වශයෙන් හා එම මුදල් තබාගන්නා ලෙසත් දරැවාව පරිස්සම් කරගන්නා ලෙසත් පවසා ⁣ඔවුන්ගේ ගමන් මඟ දෙමාර්ගයක් ඔස්සේ ඉදිරියට ඇඳෙයි.
                                             ගම්බද පරිසරයක බස් රථයක නිදිබර වෙහෙසින් සිටින රේඛා නින්දක පසුවෙයි.නන්දනී රිය කවුළුවෙන් අවට බලන ගමන් රේඛා අවධිකර ඒ කුමක්ද සිදුවූයේ කියා කරැණු විමසයි.රේඛා පවසන්නේ කිසිවක් නොවුණු විදියට අමතක කරන්න කියාය.එනම් සියල්ලම අමතක කර ඇයට ලැබුණු මුදලින් ජිවිතේ ගෙවන ගමන් යම් ජීවීකාවක ඈත දුර පළාතකට ගොස් නන්දනීවද රැක බලාගෙන ඇය ජීවිතය වෙනස් කරගන්න ඇති...වෙනස් කරගත්තාද යන බොහෝ දේ ප්‍රෙක්ෂකයාට භාර කර ඇත.මෙහිදි අවසානයේ මිය ගිය ධනවතාගේ පුතුට මතක්වන අතීත සිද්ධි සමුදායක් දිස් වේ.එනම් තම පියා තමන් පාසල් යන කුඩා අවධියේ වයස 15-16ක කාලය තුළ තමන්ගේ යෙහෙළියක් පවා තම පියාණන් විසින් කෙලෙසා අවසානයේ ඇය මරණයට පත් වූ අඳුරු මතකයකි.තම පියා ඝාතනය වූවද ඒ වෙනුවෙන් කුඩා දරැවාට හා රේඛාගේ ජීවිතයට හානියක් නොකර ඔවුන්ගේ ජීවිත ගලවා ඔවුන්ට මෙම ඉරණම අත්කර දුන් හා තමා කුඩා අවධියේ තමන්ගේ යෙහෙළියට එවැන්නක් සිදුවෙන තෙක් බලා සිටි සියලුම දෙනාවද ඔහු ඝාතනය කරවිය. 
                    සැබවින්ම එම ඝාතනයන් නිර්මාණය තුළදි මිනිස් ජීවිත ලෙස ඝාතනය වූවද රචකයා සමාජ ගර්භයේ දක්වන්නේ මෙම පහත් තත්ත්වය නිර්මාණය කළ වරද මරා දමා එහි නියැලී දුක් විඳි වුවන්ට සමාජයේ වෙනම පරිසරයක් ජිවීත ගමනක් අළුත් දැක්මක් ලබා දී එම කටුක අන්ධකාරය සමාජයෙන් පළවා යා යුතු බව නොවේද.........ඔබටත් මෙය මීට වඩා හොඳින් තවත් ඉසව් ඔස්සේ රසවින්දනය කරන්න භාර කරමී. You tube ඔස්සේ කිහිප සැරයක් මෙය නැරඹුවද භාෂාවේ නුහුර හා නොදැනීම නිසා යම් ඉසව් වටහාගන්න අපොහොසත් වූ අතර මේ පිළිබඳ තව තව සෙවීමේදි රේඛාගේ චරිතයට පණ පෙවූ පූජා උමාශංකර් විසින් ⁣එම රංගනයට හොඳම නිළියට හිමි සම්මානයද දිනා ඇති අතර එක්තරා රෑපවාහිනි සාකච්ඡාවකදි ඇය පවසන්නේ සිංහල හඬ කවලා හෝ සිංහල උපසිරස හරහා හෝ මේ සිතුවම ලංකාවේ රසිකයන්ට ලබා දෙන්න කටයුතු කරන බවය. එම හේතුව නිසාම  සිංහලෙන් හඬ කවා ඇති නිර්මාණයද රස විඳින්නට අවස්ථාව ලැබුණි.
                         මෙම නිර්මාණය පිළිබඳ තව තවත් කරැණු සෙවිමේදි  "පූජා උමාශංකර්" විසින් පවසන්නේ තම මෑණියන් තම පවුලේ අය විරෝධය පල කල බවය.නමුත් ඇය ඉතා සන්සුන්ව සියලුම දෙනාට කරැණු පහදා දී ඇත්තේ නැහැ මේ වගේ චරිත ගැන හා සමාජය ගැනත් කවුරැ හරි දෙයක් කරලා පෙන්වන්න ඕනී මෙය රංගනයක් පමණයි නැත්නම් මෙම සමාජයේ යථා තත්ත්වය කවුද අම්මා කියන්න ඉන්නේ යනුවෙනි .සැබවින්ම එය වටිනා කාර්ය භාර්යකි.මෙහි කිසිඳු අසභ්‍ය දර්ශණ මාත්‍රයක් නැත සභ්‍යත්වයකින් යුතුව සමාජය විවරණය කොට ඇත.නිර්මාණ කරැවා යනු කුමන ඉසව්වක් වුවද අනුන්ගේ වුවද තමන්ගේ කොටගෙන සංවේදීව රසියකාගේ පරිකල්පන බුද්ධියට ගෝචර කරමින් නිර්මාණය කරන්න්ට නිර්මාණය වූ සමාජයේ තවත් මානව කොට්ඨාසයකි.

ස්තුතිය ...
✍️ සුරවීර ආරච්චිගේ කමණි.......

No comments:

Post a Comment

ජීවීතයට සිතුවිල්ලක්

                 🌿🍁💕🌱❤🤲🤲🤲🍁🍁🍁 ජීවීතයට වදනක්                      _______________________________________________                   ...