Thursday, November 19, 2020

අළු බඳුන ටෙලි නාට්‍යය

#කාලයක් #ගත #වුණත් #නැවත #නැවත #බලන්න #හිතෙන #ටෙලි නාට්‍යයක #රසයක් #ඔයාලගේ  #හිත්වලත් #ඇති.......

          අන්න ඒ වගේ නාට්‍යයක් ගැන තමයි මෙම සටහන විවර වෙන්නේ . එනම් "අළු බඳුන " ටෙලි නාට්‍ය   තුළ තිබෙන සුන්දරත්වය පිළිබඳ මෙච්චර කාලයක් ගිහිල්ලත් අකුරු ටිකක් එකතු කරන්න හිතුණේ youtube එක හරහා අදටත් සැරෙන් සැරේ මම එය නරඹන නිසාමයි. මගේ එම නාට්‍ය පිළිබඳ උනන්දුව කොපමණද කිව්වොත් මගේ යහළුවන් කිහිප දෙනෙක්ටද එම ආශාව දැනටමත් බෝ වී හමාරය. සමහර කොටස් සොයාගන්නට නැති වුවද දැඩි උනන්දුවකින් යුක්තව අදටත් සැරෙන් සැරේ අහුවෙන අහුවෙන කොටසක් පවා නෑර නැවත නැවත නරඹන්නේද මීට පෙර කවරදාවත් එය නරඹා නැති අයෙක් ලෙසය. එහි පසුබිම් ගීතයද ඉතාම සුන්දර නාද රටාවකින් හා ප්‍රවීණ ගායන ශිල්පි සමන් ලෙනින් මහතාගෙන් සහ ප්‍රවිණ ගායන ශිල්පිණි ඉන්දිකා උපමාලි මහත්මියගේ සුසංයෝගයෙන් ගැයෙන්නේ අපූරත්වයකිනි. නැවත නැවතත් අසන්නට තරම් හදවත වේළාගෙන ඇත. 

                    එමෙන්ම කතරගම ප්‍රදේශය වටා තිබෙන දුෂ්කර කටුක පරිසරය මේ සඳහා  රෑපගත කිරීම් කටයුතු සිදු වී ඇත.එම පරිසරය තුළ පවතින කාශ්ටක දුෂ්කර බවද මෙම නාට්‍ය තුළට අපූරත්වයක් මිශ්‍ර වී තව තවත් නිර්මාණය තුළ පවතින රසය ප්‍රේක්ෂක හදවත් තුළ තීව්‍ර වී ඇත.මම විදේශගතව සිටින හෙයින් එය නැරඹිමෙන් හා එම ගැමි  පරිසරය දැකීමෙන් ලබන්නේ විශාල අශ්වාදයක් සහ සුන්දරත්වයකි. එම ගැමි සමාජය වටා පවතින දුක්බර ජීවීතය කෙබඳුද යන්නත් එම ප්‍රදේශ තුළ වෙසෙන දූ දරුවන්ගේ අධ්‍යාපනය සහ ඔවුන්ගේ අරමුණු ඉලක්ක කොයිතරම් දිළිඳු හා අහිංසක අසරණ බලාපොරොත්තු මැද හෙට දවස වෙනුවෙන් හදවතේ ගැහෙන රාවය විනිවිද දනවන නිර්මාණයක් බව කිව හැකිය. 

              එම නාට්‍ය හා පරිසරය තුළ හමුවන මෙම නාට්‍යයේ ප්‍රධාන කතා නායිකාව වන "සුද්දි" ගේ චරිතයට පණ පොවන ප්‍රවිණ රංගන ශිල්පිණියක් හා එහි නිෂ්පාදකවරිය වන ආශා එදිරිසිංහ දක්ෂ රංගන ශිල්පිණියක් සේම දක්ෂ නිෂ්පාදනවරියක්ද බව මොනවට තහවුරු කරන සුන්දර නිර්මාණයක් බව අදටත් රසික හදවත්වලට මෙම නිර්මාණය කෙතරම් ආශක්තද යන්න තුළින් දැනගත හැකිය. සුද්දීගේ චරිතය වටා පවතින දිළිඳු ජීවන රටාව ඉතාම සංයමයකින් හා ඉතාම අව්‍යාජ සහ ඉහළ තාත්වික අගයකින් යුක්තව ඇය  එම චරිතය තුළ ජීවත්වෙමින් හසුරවන ආකාරය තුළ ඇය කෙතරම් ඉහළ සාධාරණයක් එම චරිතයට කර ඇතිද යන්න මනාවට රසික හදවත්වල අදටත් සනිටුහන් වීම නොරහසකි. 

          එදිනෙදා ජීවීතය හා ගැටෙන ජීවන රටාවේ අඩුපාඩු පිරිමසා ගැනීම වෙනුවෙන් "සුද්දී" යනු වැවේ පිපෙන නෙළුම් මල් කඩා එයින්ද යම් අදායමක් ලබා ගන්නට ජීවීතය හා හැප්පෙන අහිංසක සුන්දර ගැමි ජීවන රටාව පිළිඹිබු කරන යුවතියකි. ඇය එම වැවේ ඔරු පඳින ආකාරයද ඉතාම ස්වාභාවික ලෙස රංගනය තුළ මොනවට ජනිත කරවයි. ඉතාම සියුම් චලන පවා මැනවින් ඇය පිළිඹිබු කිරීම තුළ අදටත් මෙම නිර්මාණයෙහි රසය කොපමණ පරණ වුවත් නැවුම් බවක් ජනිත කරවන්නේ නිරාසයකිනි. මා විශාල විචාර දැනුමක් තිබෙන අයෙක් නොවෙමී. නමුත් අදටත් එම නාට්‍ය නැරඹිම තුළ හදවතට දනවන වින්දනය හේතුකොටගෙනම මෙම සටහන තබන්නට සිතුවා පමණකි. මෙම සටහන තුළින් එම සුන්දර නිර්මාණයට 100% ක් සාධාරණයක් මා හට කරන්නට නොහැකි වුවත් එහි රසයට අකුරකින් හෝ අසාධාරණයක් නොකරන බව හඟිමී.

         සියලුම චරිත ඉතාමත් තාත්වික ලෙස ඉහළ ගුණාත්මක බවකින් යුක්තව රංගනයේ යෙදීම තුළ විටෙක ඔවුන්ගේ සියුම් අංග චලනයකින් පවා දනවන සමාන්‍ය මිනිස් හැසිරිම් රටා හේතුවෙන් එහි රසය ඇත්තටම අපූරත්වයකින් පිරී පවතී. නාට්‍ය තුළ මම වැඩිපුර ආසම චරිතය වන්නේ "සුද්දී" ගේ චරිතයයි. ඇය එක දර්ශන අවස්ථාවක පොල් අතු කිහිපයක් ඇඳගෙන ඇවිත් ඔවුන් ජීවත්වන නිවසේ ගේමුදලට එකවරම අතහැර දමයි. එය ඉතාම සියුම් අවස්ථාවක් වුවමුත් ඔබට එය නැරඹිමෙන් දැකිය හැකියි එම සියුම් චලනය පවා ඇය කෙතරම් සංයමකින් ස්පර්ශ කරමින් රංගනයේ යෙදෙනවාද යන්න .එමෙන්ම තවත් අවස්ථාවක ඇය එම පරිසරය තුළ වෙසෙන ඇතෙකුට බිය වී නිවස වෙතට දුවගෙන එන ආකාරය තුළ ඇයගේ මවගේ හදවත තුළ ජනිත කරවන බිය ජනක අවස්ථාව ඉතාම තීව්‍ර ලෙස රංගනය තුළ මැනවින් සනිටුහන් කරන්නේ ප්‍රේක්ෂක හදවත තව තවත් එම නිර්මාණය තුළට ඇඳ බැඳ තබාගෙනය. එමෙන්ම ඇය සිහිනෙන් බියපත්වන දර්ශන කිහිපයක්ද දකින්නට ඇත. එම අවස්ථාවන්ද තිගැස්සී අවදිවන බියපත් විලාශය ඉතාම ස්වාභාවික ලෙස මුහුණේ සහ අංග චලන ඔස්සේ ඇය මැනවින් විචිත්‍ර ලෙස රංගනය තුළ සනිටුහන් කර ඇත. 

             කාශ්ටක පො⁣ළව සමඟ ගැවසෙන ජන ජීවනය ගෙවෙන්නේ ගොවිතැන් කටයුතු සමඟය. සුද්දීගේ චරිතය හේන් ගොවිතැන හා ගැටෙන ආකාරය තුළ බොහෝ විට දැනෙන්නේ චරිතයකට පණ පොවනවාට වඩා සැබෑම චරිතයක් එහි ජීවමානව නිරෑපිත කරවන ආකාරයකි.ආත්මීය බැඳිමක් ඔස්සේ ගලාගෙන යන වෙනස්ම ආදර කතාවක් තුළ "සුද්දී" ගේ චරිතය ස්පර්ශ කරවන ආකාරය ඉතාම චමත්කාර ජනකය.යුවතියක් ප්‍රේමය තුළදි  බොහෝ දුරට බලාපොරොත්තු වන්නේ තමන්ට ඇහුම්කන්දෙන හා අවධානය සැම විටම ලබාදෙන බැඳිමකටය. මෙහිදී සුද්දීට එවන් අයෙක් මුහුණ ගැසුණද ඔහු මිහිමතට අයත් කෙනෙක් නොවන වග ඇය දැනගන්නේ බොහෝ කල් ගොස්ය. නමුත් ඇය තුළ පවතින්නේ නිරාමිස ප්‍රේමයකි .ඇඳබැඳ තබාගැනීමකට වඩා ඈතින් හිඳ හෝ ඔහු වෙනුවෙන් ප්‍රේමය කැප කර බලා හිඳින්නටය.ඇය තුළ යම් ප්‍රේමණීය හැඟුම් ඉතාම කුළුඳුල් ලෙසත් නිර්ව්‍යාජ ලෙසත්  ජනිත වන ආකාරය මුහුණෙන් සහ ඇස්වලින් ලියා තබන බැල්ම ඔස්සේ සුද්දීගේ චරිතය ඉතාම සුන්දර ගැමී අහිංසක චරිතයක් චමත්කාර ලෙස දකින්නට පුළුවන.

         සුද්දී යම් කරුණුකාරණා තම මවගෙන් වසන් කරන්නට ගන්නාවූ වෑයමද යම් අවස්ථාවල ඇයට පමණක් පෙනෙන රණමල්ගේ රුව දැකීමෙන් නිවසේ කඬුල්ල වෙත යාම තුළ මවගේ හඬ ඇසිමෙන් සුද්දී තුළ හටගන්නා තැති ගැන්ම චකිතය ඉතාම සියුම් අවස්ථාවන් වුවත් එම පුංචී තැන් පවා ඉතාම සමාන්‍ය මිනිස් චර්යා රටාවක් බවට පරිවර්තනය කරමින් ඇය එම චරිතය උද්දීපනය කරන ආකාරය ඉතාම සුන්දරය.

        මෙම නාට්‍ය කිසිවෙකුට අමතකයැයි නොසිතමී.එම නිසාම සම්පුර්ණ නාට්‍ය පිළිබඳව ගැඹුරින් සටහන් නොකරමී. නමුත් එම නාට්‍ය කෙතරම් හදවතට සමීප වූවාද යන්න පමණක් මේ ඔස්සේ සටහන් කරන්නේ තව තවත් එවැනි නිර්මාණ දකින්නට හදවත තුළ ඇති ආශාව හේතුවෙනි. මෙම නාට්‍ය තුළද බෞද්ධ දර්ශනය තුළ තිබෙන යම් ගැඹුරු කොටස් මැනවින් ගැබ්කර ඇත. මිනිස් හදවතේ ඉපදෙන හොඳ හා නරක අදහස් අනුව හටගන්නා කර්මය තුළ ඔවුන්නොවුන්ට ගෙවන්නට සිදුවන විපාකයද උද්දීපනය කරවයි.එමෙන්ම මෙම නාට්‍ය අවසානය කරා ළං වන විට සිරිසේන මහත්මයා පිළිබඳ මෙන්ම ජන්තු පිළිබඳව රසික හදවත්වල මුලින් හටගත් හැඟුම් සමුදාය ක්‍රමක් ක්‍රමයෙන් යටපත් කරමින් ජීවීතය යනු මෙබඳු ආකාරයක තැනක් යන්නත් එම ජීවීතය තුළ ජීවත්වීම තුළ අප කළ යුතු දෑ කුමක්ද යන්නත් නොකළ යුතු දේ කුමක්ද යන්නත් ප්‍රේක්ෂක හදවත්වලට ඉතාම සංයමයකින් මෙන්ම මානූෂීය හැඟුම් ඔස්සේ හඟවයි. කලාව තුළින් රසික සංතානයට ජීවත්වීමේ කලාව කියා දෙන්නේනම් එය ආනන්දනීය ජනක බව ඔස්සේ ප්‍රඥාගෝචරයට බද්ධ කරවන්නකි. මෙම නිර්මාණයද එවන් සුන්දර වූ නිර්මාණයක් බව අවිවාදයෙන් කිව හැකිය . 

ස්තුතියි ,
සටහන  සුරවීර ආරච්චිගේ කමණි .

No comments:

Post a Comment

ජීවීතයට සිතුවිල්ලක්

                 🌿🍁💕🌱❤🤲🤲🤲🍁🍁🍁 ජීවීතයට වදනක්                      _______________________________________________                   ...